ලෙනගල රජමහා විහාරය
සුන්දර වන පෙදෙසකින් සහ මහත් උත්තුංග ගල් පර්වත පාමුල සුසැදි ලෙනගල රජමහා විහාරය ඓතිහාසික වටිනාකම් අතින් විශිෂ්ට පුදබිමකි. මෙය ශ්‍රී සම්බුද්ධ වර්ෂ 450 වැනි සංවත්සරයෙහි ලක්දිව රාජ ශ්‍රී පරාක්‍රමාන්විත වට්ටගාමිණි අභය හෙවත් වලගම්බා රාජ්‍ය සමය දක්වා අතීතයකට හිමිකම් කියයි. සල්ගල නම් රමණීය වනෝද්‍යානයේ විසූ ආය්‍යි දූහතර සහ ආය්‍යි ශිව යන ප්‍රදේශාධිපති විසින් කටාරම් කොටවා කටුකොහොල් හරවා නිර්මාණය කරන ලද මනරම් ප්‍රසාදනීය ගිරි ගුහාව “ලෙනගල” යන නමින් ප්‍රසිද්ධියට පත්විය.
ලෙනගල විහාරයේ ආරම්භය අනුරාධපුර යුගයේ වලගම්බා රජුගේ කාලය තෙක් ඈතට දිව යයි. ද්‍රවිඩයන්ගේ ග්‍රහණයට නතු වී සිටි රජු තම ආරක්ෂාව පතා වසල් දනව්වල සැඟ වී සිට ඇත. එම සැඟ වී සිටි කාලය තුළ මොහු බහුල වශයෙන් කාලය ගතකර ඇත්තේ ලෙන් ගුහා ආශ්‍රය කර ගනිමිනි. මෙතුමා වල් වැද පලා ගිය අවස්ථාවේ සල්ගල මහ වන පියසට පැමිණ ඇත. එකල මෙම ලෙනගල ආදි ප්‍රදේශවල පාලන කටයුතු කරගෙන යා මෙහිලා විශේෂ පුරෝගාමිත්වයක් ඇතිව ක්‍රියා කළ ආයක දූ හතර සහ ආයක ශිව යන පුතුන් දෙදෙනාට මුණ ගැසුණු වලගම්බා රජුට සැඟ වී සිටිම සඳහා ආරක්ෂිත ස්ථානයක් ලෙස වන මැද පිහිටි මෙම ගල්ලෙන සොයා දී ඇත. එයට කෘතගුණ සැලකීමක් වශයෙන් වලගම්බා රජු රජ පැමිණීමෙන් පසු මෙම සුවිසල් ගල්ලෙන කටාරම් කොටා සිව් දිගින් වඩින මහා සංඝයාට විහාරයක් බවට පත් කර සඟ සතු කර පිදූ බවට ජන වහරේ පවති.
ලංකාවේ දෙවන උස ම ගල් උළුවස්ස ලෙනගල විහාරය සතු වෙයි. විහාර භූමිය ආසන්නයේ ගල්ලෙන් 28ක් පමණ දක්නට ලැබෙන අතර වර්තමානයේ ඒවායෙහි භාවනායෝගී භික්ෂුන් වහන්සේලා වැඩ වෙසෙති. ලෙනගල සිට සල්ගල දක්වා උමං මාර්ග දක්නට ලැබෙන අතර උමගේ ඇතුළුවීමේ දොරටුව අදටත් දක්නට තීබීම විශේෂත්වයකි.