Wednesday, August 4, 2021

කවිය සහ ගීතය

 


කවිය සහ ගීතය යනු, එකිනෙකට සමානතා අසමානතා ඇති කලා මාධ්‍යය දෙකකි. විශ්වනාථ කවිය අර්ථ දක්වා ඇත්තේ “රසය ආත්මය කොටගත් වැකිය කාව්‍යයි” යනුවෙනි. එමෙන් ම ගීතය යනු, සාහිත්‍යයෙත්  සංගීතයේත් සුසංයෝගයකි. මෙකී අදහස් දෙක කෙරෙහි අවධානය යොමු කරන විට කවිය හා ගීතය යනු, එකිනෙකට වෙනස් කලා මාධ්‍යයන් දෙකක් ලෙස හඳුනා  ගත හැකිය. 

අතීතයේ කවිය හා ගීතය අතර එතරම් වෙනසක් දක්නට නොවීය. නමුත් ක්‍රමයෙන් දියුණු විකාශනයක් කරා යොමු වන ගීතය එයට ම ආවේණික වූ ලක්ෂණ රැසකින් සමන්විත වීම නිසා කවිය හා ගීතය එකිනෙකට වෙන් වූ කලා මාධ්‍යය දෙකක් බවට පත් විය.

කවිය කවීතා ගුණයෙන් ද ගීතය ගේයතා ගුණයෙන් ද යුක්ත වීම මෙහි පවත්නා මූලික ලක්ෂණයකි. එහි දී කවිය කියවා රස විඳින අතර ගීතය අසා රස විඳින කලා මාධ්‍යයකි. ගීතය මූලික වශයෙන් ශබ්ධ රසය ඉස්මතු වන ආකාරයෙන් නිර්මාණය කරන අතර කවිය අර්ථ රසය මතුවන ආකාරයෙන් නිර්මාණය කරයි.

ගීතය ශ්‍රව්‍ය ගෝචර මාධ්‍යයක් වගේ ම සාමූහික කලා මාධ්‍යයකි. මෙය සංගීතය නමැති මහා සාගරයට වැටෙන අතු ගංඟාවක් ලෙස හැඳින්විය හැකිය. ගීතය විවිධ සීමා මායින් තුළින් නිර්මාණය වී ඇත. ගීතය විනාඩි තුන හතරකට සීමා විය යුතුය. මෙකී ඉතා කෙටි කාලය තුළ සහෘදයාගේ හදවතට ආමන්ත්‍රණය කිරීමට ගී පද රචකයා සමත් විය යුතුය. එහිදී ගේය පද රචකයාටත්, සංගීත නිර්මාණකරුවාටත් ස්වයං වාරණයක් පනවා ගැනීමට සිදු වෙයි.                    

ගීතය ප්‍රධාන වර්ග හතරක් යටතේ වර්ග කර හඳුනා ගත හැකිය. 

1 භාවික ගීත

2 රූපක ගීත

3 සුක්තික ගීත

4 වාර්තික ගීත

කවියෙහි ද  මූලික ප්‍රධාන වර්ග හතරක් හඳුනා ගැනීමට හැකිය.

1 චම්පු කාව්‍ය

2 ගේය කාව්‍ය

3 ගද්‍ය කාව්‍ය

4 පද්‍ය කාව්‍ය

කවිය බොහෝ දුරට දෘශ්‍ය ගෝචර කලා මාධ්‍යයකි. එකී දෘශ්‍ය ගෝචර බව නිසා ම බුද්ධි ගෝචර බවත් වැඩිය. ආකෘතික ලක්ෂණ වගේ ම ඉරක්, තිතක්, කොමාවක් පවා ගැඹුරු අරුත් ප්‍රකාශ කරන දෘෂ්ටි ගෝචර බවකින් යුක්ත වීම මෙහි දක්නට ලැබෙන වෙනස්කමකි. කවියෙහි භාෂාවට සීමා මායිම් නොමැත. නමුදු ගීතයෙහි එබඳු සීමා මායිම් රැසක් දක්නට ලැබෙයි. කවියේ ආකෘතියේ ද සීමාවන් නැත. කවියා සෑම විට ම ඔහුගේ ප්‍රකාශන ඇතුළත ස්වාධීනයි. එසේ වන්නේ කවිය ඒක පුද්ගල නිර්මාණයක් නිසා ඔහුට ස්වයං චින්තනය ඇසුරු කර ගනිමින් නිර්මාණකරනයේ යෙදීමට අවකාශය තිබීමයි. කවියා ගීත රචකයාට වඩා උපරිම නිදහසක් වින්දනය කරයි. කවියාට විශාල ගැඹුරක තම පරිකල්පනය විදහා දැක්වීමට ඉඩ හසර පවතී. කවි රස විඳින පාඨකයාට වුව ද කවිය නැවත නැවත කියවා එහි ගැඹුරු තැන් සොයා යාමේ හැකියාව ඇත. 

ගීත රචකයාට කවීයේ දී මෙන් භාෂාවේ ඕනෑ ම වචනයක් පරිහරණය කිරීමේ හැකියාව නොමැත. ගීතයෙහි සෑම පරිහරණය කරන වචවයක් ම සුඛනම්‍ය විය යුතුය. භාවයන් ජනනය කරන ශ්‍රව්‍ය ගෝචර ලක්ෂණ කැටිවන අයුරින් නිර්මාණය කිරීමට ගී පද රචකයා සමත් විය යුතුය. එසේ වන්නේ ගීතය යනු, ශ්‍රව්‍ය ගෝචර මාධ්‍යයක් වන නිසත් ඇසීමෙන් ම රසය උපදවන මාධ්‍යයක් වන හෙයිනි.

මහගම සේකරයන් ගීතය කවියේ එක කුස උපන් සොහොයුරෙක් බව පවසයි. මේ අදහස දෙස අවධානය යොමු කරන විට ගීතය හා කවිය යනු, එකිනෙකට අවියෝජනීය සම්බන්ධකම්වලින් පරිපූර්ණ මාධ්‍යයන් දෙකක් ලෙස හඳුනා ගත හැකිය. 

සාර්ථක ගීතයක් වීමට නම් ධ්වනිපූර්ණ ගීත රචනා, අර්ථාන්විත ස්වර රටා, ඖචිත්‍යවත් මධුර වූ සංගීතය, භාව පූර්ණ ගායනාව යන සියල්ල අන්තර්ගත විය යුතුය. නමුත් කවියට එබඳු සීමාකම් නොමැති අතර ඔවුන් වැඩි අවධානය යොමු කළ යුත්තේ බස වෙතටයි. රමණීය වාගාලාපයකින් යුක්ත විය යුතුය. කවියේ වචනවල ඇති ශබ්ධ රසය පරිපූර්ණ වන්නේ අර්ථ පූර්ණ ධ්වනි බස්වහර අන්තර්ගත වීමෙනි. ගීතයට එබඳු ගැඹුරු බස් වහරක් ඇති වූ විට ගැටලු ඇති විය හැකිය. එසේ වන්නේ ගීතය ශබ්ධ මාධූර්ය ඉස්මතු කරන බැවිනි. 

ගීතයේ තවත් වෙනස්කමක් ලෙස හැඟීම් ප්‍රකාශ කිරීමට සංගීතය වාදනය යොදා ගන්නා අතර කවියට ඇති ප්‍රබල ආයුධය වන්නේ භාෂාවයි.

සෑම කවියක් ම ගීතයක් නොවන්නා සේ, සෑම ගීතයක් ම කවියක් නොවේ.

                                   -රවීන්ද්‍රනාත් තාගෝර් -     

මේ අනුව බලන විට කවිය හා ගීතය යනු, එකිනෙකට වෙනස් කලා මාධ්‍යයන් දෙකක් බව පැහැදිලිය.


No comments:

Post a Comment

ඇයයි මගේ අම්මා ❤️

ගැබ්බර වේදනා දරා දසමස හොවා  මෙලොවට මා දොවා හිනැහුණා ඔබ පරදා වේදනා  රතු රුහිරු කිරි කරන් සෙනෙහසින් මා වඩන් " මගෙ පුංචි දෝණිනේ කීවේ ආඩම්බ...