Monday, April 26, 2021

දීගය

 

   ලොව  සුන්දර  ම  දේ   බිහිවන්නේ  ඉරේ   එළියෙනුයි, අම්මගේ  කිරිවලිනුයි  කියලා  අපි  අහලා  තිබුණට ඒ බව,  හිතපත්ලට  ම  දැනෙන්නේ   තමාගේ ම  දරුවකු  දෝතට ගන්නා  මොහොතේ දී ය. පුර පස සඳයි, සඳ  ළඟ  තරුවයි මෙන් මවත් පියත් සිඟිති බිළිදාගේ ලස්සන මුහුණ දෑහෙන් විදලා සොඳුරු ආශ්චර්යයක් විඳියි.

මෙබඳු හරි අපූර්ව සහගත බැඳීමක් ලෙස  "විවාහය" නම් සංකල්පය හැඳින්විය  හැකිය.  පිරිමියෙකු දෙවැනි වරට උපදින්නේ බිරිඳකගෙනි. ඒ වගේ ම දරුවෙක් වෙනුවෙන් සුබ සෙත සලසන්නී ද අම්මාය. දුවක, බිරිඳක, මවක ලෙසින් විවිධ පැතිකඩයන්හි ඇය ලබා දෙන දායකත්වය සුළු පටු නොවන බව මම තරයේ විශ්වාස කරමි. සමහර පිරිමින්ට නිවස අපායකි. එහෙත්  සමහරුන්ට  නිවස  දිව්‍ය  ලෝකයකි. මෙකී ස්ථාන දෙක ම නිර්මාණය වන්නේ කාන්තාව පවුල තුළ හැසිරෙන ආකාරය අනුවයි. ඔබටත් නිවස මේවාගේ ස්ථානයක් ද? 

                                                                                                                                                                                    


 "පොඩි දුවගේ සිනා කටයි

පොඩි පුතුගේ කතා හඬයි

පිය බිරිඳගේ සෙනෙහෙ විලයි

මගේ නිවස මගේ පැල්පතයි..."                                                                                                                                                                                                                                                       එසේ නම් කුටුම්බ සංස්ථාව තුළ කාන්තාවක් විසින් ලබා දෙන දායකත්වය කොතරම් ද යන්න මම තවත් පැහැදිලි කළ යුතු නැතැයි සිතමි. මන්ද හිරුටත් පෙර පිබිද සියලු වැඩ කටයුතු අහවර කර පවුලේ  සාමාජිකයන්ගේ ගමන් මඟට අවැසි ශක්තිය ලබා දෙමින් සියල්ලට ම පසුව නිදාගත් එක ම තැනැත්තිය කාන්තාවයි.                                                                                                                                                                                                                                                                             පවුල් කුටුම්බය තුළ කාන්තාවගේ ජීවිතයේ සුවිශේෂ අවස්ථාව කුමක්ද? යන පැනය මා යොමු කළහොත් බොහෝ දෙනා පවසන්නේ "විවාහ මංගල උත්සව දිනය" කියයි. මනාලියක් වීමට කාන්තාවක් හීන දකින්නේ තරුණ වියට එළඹීමත් සමඟය.මාස සති දින ඇඟිලි  ගනිමින් ශ්‍රී ලාංකික සංස්කෘතියට අනුව ඉතා උසස් ලෙස චාරිත්‍ර වාරිත්‍රවලට අනුකූලව මාල වළලු පැලඳ ලෝකයට ණය වෙමින් උත්සව ශ්‍රීයෙන්  විවාහ උත්සවය පවත්වති . විවාහය යනු, කිසි දිනෙක තාවකාලික බන්ධනයක් නොවන අතර ජීවිත කාලයට ම වලංගු හරි අපූර්ව සහගත බැඳීමකි. විවාහය දෙදෙනාගේ තේරුම් ගැනීමේ ශක්තිය මත එහි දීර්ඝ කාලීන බැඳීම තීරණය වෙයි. ඒ සඳහා නිවැරදි අවබෝධය, විශ්වාසය, ගරු කිරීම, අසීමිත ආදරය යන කරුණු මූලික තැනක් ගනු ලබයි.       

   ඉතින් මෙම ජායාරූපයට අනුව නම් විවාහයේ සුන්දර  අත්දැකීම  හිතට අපූර්ව ආකාරයේ හැඟීම්  ජනිත කිරීමට ජායාරූප ශිල්පියා සමත් වී තිබෙයි. තමාට  ගැළපෙන ස්වාමි පුරුෂයකු හිමි නොවීම හේතුවෙන් බොහෝ විවාහක කාන්තාවන්ට මෙබඳු කටුක ඉරණම්වලට ගොදුරු වීමට සිදු වී තිබීම අතිශයෝක්තියක් නොවෙයි. ගැමි වහරේ එන "ගැහැණු ඉන්නේ උයන්න පිහින්නයි රෙදි හෝදන්නයි" යන කරුණ මනාව ධ්වනිතාර්ථවත් කරවමිනි. මෙබඳු ආකාරයෙන් කාන්තාව ගැමි වහරේ හඳුන්වන  "ලිප් බොක්කට කොටු වීම" මහත් ඛේදජනකය.                                                                                                                                                                                                                                                              මෙබඳු ඉරණමකට නතුවීම නිසා කාන්තාවට විවාහ ජීවිතය ම අපායක් සේ හැඟීයාම අතිශයෝක්තියක්  නොවෙයි. ඇයගේ සුන්දර වත දැලි ගා ගනිමින් මුහුණෙහි අසතුටු ස්වරූපයෙන් පසක් කරන්නේ ජීවිතයේ ආරම්භය ම ඇයට අපායක් වී ඇති බවයි. නමුත් ඇයගේ දෑස දෙස නෙත් යොමා බලන විට ඇය කෙසේ හෝ තම ජීවිතය ජයගත යුතු ය යන පරම අධිෂ්ඨාන  සහගත හැඟීමකින්  සිටින ආකාරයක් දක්නට ලැබෙයි. මෙය සමස්ත කාන්තාවක් තුළ ම දක්නට ලැබෙන ආකල්පයකි. කොතරම් බාධක කරදර මැද වුව ද ජීවන නෞකාව යාත්‍රා කරවීමට ඇය සතුව පුදුම සහගත බලවේගයක් පැවතීම අතිශයෝක්තියක් නොවෙයි. ඇය ඉදිරිපස තබා ඇති කොහිල මිටියෙන් බොහෝ දෙනා හඳුන්වන පරිදි ඇයට කේන්ති ගොස් ඇති බවත් මූලග්ගින්න නැති කළ යුතු බව ඉස්මතු කර පෙන්වීමට ජායාරූප ශිල්පියා සමත් වී ඇත. ඇය වටා එක් රැස්කර ඇති මහත් දර කන්ද තුළින් ඇය මුළු නිවසට ම ආහාර පිසින්නියක් බවට පත් වී ඇති බව ස්ඵුට කර පෙන්වයි. මෙකී කාන්තාවට යහපත් ස්වාමි පුරුෂයකු ලැබුණා නම් විවාහ ජීවිතය සුර ලොවක් කර ගැනීමෙහි හැකියාව පවතී යැයි මම සිතමි.

 මෙය සමස්ත ස්වාමි පුරුෂයන්ට ම ආදර්ශයක් කරගත හැකි බව මම තරයේ ප්‍රකාශ කරමි. එනම් පවුල් කුටුම්බය තුළ සියලු වැඩ කාන්තාව වෙත ම යොමු නොකරමින් ඇයට සහය දිය යුතුය. මූලික වශයෙන් ඇයව මනාව තේරුම් ගැනීම ඉතා වැදගත් ය. මක් නිසාද යත් කාන්තාව විවාහ වී කුලගෙට පියමනින්නේ ස්වාමියා සමග සතුටින් ජීවත් වෙමින් මවක වීමේ උත්තරීතර හැඟීම සිතෙහි තබා ගනිමිනි. විවාහ වීමට පෙර පුරුෂයා තම ආදර වන්තිය කෙරෙහි පැවති ආදරය ස්නේහය කිසිඳු අඩුවකින් තොරව  ඇයට ලබා දෙමින් ඇයව කුස්සිය මුල්ලට සීමා නොකිරීම තුළින් කුටුම්බය  සුර ලොවක් මෙන් සරසවා ගැනීමට හැකි යැයි මම විශ්වාස කරමි.


                                                                                                                                                                                                                         -  සචිනි නිමේෂිකා - 

No comments:

Post a Comment

ඇයයි මගේ අම්මා ❤️

ගැබ්බර වේදනා දරා දසමස හොවා  මෙලොවට මා දොවා හිනැහුණා ඔබ පරදා වේදනා  රතු රුහිරු කිරි කරන් සෙනෙහසින් මා වඩන් " මගෙ පුංචි දෝණිනේ කීවේ ආඩම්බ...