අලගියවන්න මුකවැටිතුමා සීතාවක රාජසිංහ රජුගේ අවදියේ ලංකාවේ සිටි ශ්‍රේෂ්ඨතම උගතෙකි. සිය නෑ කෝරළයේ උපත ලද මොහු සාහිත්‍යකරණයට පිවිස ඇත්තේ ලක්දිව මිනිසුන් සියලු අතින් පිරිහුණු කටුක කඨෝර වූ අවදියකයි. සතුරු යුධ බියෙන් මුළු දිවයින ම ඇළෙලෙමින් පැවති ඒ අවදියේ දී යම්තම්වත් අත පය සැලීමට හැකි වූ මිනිසාට සටනට යාමට මිස පොතපතට සිත දීමට අවස්ථාවක් නොවීය. පොත් පත් ගිනිබත් කළ සමාජ වටපිටාවක අලගියවන්න මුකවැටිතුමා සිංහල සාහිත්‍යය නඟා සිටුවීමට ගත් වෙහෙස අමරණීයයි. මොහු විසින් රචිත යැයි සලකන කෘති පහකි.
1 සුභාෂිතය
2 සැවුල් අස්න
3 දහම් සොඬකව
4 කොන්ස්තන්තීනු හටන
5 කුස ජාතක කාව්‍ය
පොත් පත් ගිනිබත් කළ මේ කාලය තුළ මෙතරම් කෘති සමූහයක් හෝ නිර්මාණය කරමින් සාහිත්‍යය නමැති කලා කෙත සැරසීමට ගත් වෙහෙස අගය කළ යුක්තකි.
කෝට්ටේ යුගයේ බිහි වූ ලෝ වැඩ සඟරාවෙන් අනතුරුව පහළ වූ සිංහල උපදේශාත්මක ග්‍රන්ථයක් ලෙස සුභාෂිතය හැඳින්විය හැකිය. පොදු ජන ජීවිතයේ සෑම අංශයක් කෙරෙහි ම බලපාන කරුණු රැසක් කෘතිය පුරාවට විහිදී පවතී. මේ කෘතිය එදා මෙදා තුළ සිංහල සාහිත්‍යයේ වැදගත් කෘතියක් බවට පත් විය. මොහු ජීවත් වූ සමාජයේ පැවැති චර්යා ධර්මයෝ මෙම කෘතිය පෝෂණය කිරීමට මහඟු පිටිවහලක් ගෙන දුන්හ.
මෑත ඉතිහාසයේ බාල පරපුර හික්ම වී මෙහිලා සුභාෂිතයෙන් ලැබුණු පිටිවහල සුළු පටු නොවේ. බාල පරපුර යහ මඟට යොමු කරවමින් සිංහල පද්‍යයයේ රස වින්දනයට දොර විවර කිරීමක් වශයෙන් ද මේ කෘතියෙන් සිදු වූ සේවය අති විශිෂ්ටයි.
සුභාෂිතය රචනා කිරීමේ දී අප රටට ගැළපෙන සරල භාෂාවක් යොදා ඉදිරිපත් කිරීම අලගියවන්න මුකවැටිතුමාගේ නිර්මාණශීලි ගුණය මනාව ධ්වනිතාර්ථවත් කරයි. සුභාෂිතය පුරාවට කවි සියයක් ඇතුළත් වන අතර මෙය ශතක කාව්‍යය කෘතියක් ලෙස ද සලකයි. මෙහි අඩංගු සමහර කවි වර්තමානයේ ජීවමාන ලෙස බාල මහලු කාගේත් මතකයේ රැදී තිබේ.
“පින් මද පුතුන් සියයක් ලදු වත් නිසරූ
ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
එක පුන් සඳින් දුරුවෙයි ලොව ගණ අඳුරු
නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු”
එදා සමාජය තුළ පමණක් නොව වත්මන් සමාජය තුළ ද බොහෝ දෙනාගේ මුවින් අසන්නට ලැබෙන කරුණු රැසක් මේ කවියෙන් ගම්‍ය කරයි. මෙබඳු කවියක් නිර්මාණය වීමට අලගියවන්න කවියා ජීවත් වූ සමාජ වටපිටාව මනා රැකුලක් වෙන්නට ඇතැයි සිතිය හැකිය.
මොහුගේ තවත් විශිෂ්ට කෘතියක් ලෙස “කුස දා කව” හැඳින්විය හැකිය. මහා කාව්‍ය ආකාතියට වහල් වෙමින් රචිත කව්සිළුමිණට වඩා සහෘදයාගේ සිත් තදින් ස්පර්ෂ කිරීමට සමත් කෘතියක් ලෙස කුස දා කව හැඳින්විය හැකිය. කව්සිළුමිණෙහි එන ගැඹුරු වාග් කෝෂයට වඩා අලගියවන්න කවියා ජන කවියෙකු මෙන් ඒ ඒ කතා ප්‍රවෘත්තිය රමණීය පදවැල්වලින් සරසා සහෘදයා කරා රැගෙන ඒමට සමත් විය.
ඒ බව සුචරිත ගම්ලත් සිංහල සාහිත්‍යය විකාශනය නම් කෘතියෙහි දක්වා ඇති අදහස තුළින් මනාව පැහැදිලි වෙයි.
“කුස ජාතක කාව්‍ය මහා කාව්‍යයක් නොවේ. එය රචනා කිරීමේ දී අලගියවන්න අනුගමනය කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ අසාර්ථක වුණු මහා කාව්‍ය සම්ප්‍රදාය නොව වෑත්තෑවේ හිමියන්ගේ ගුත්තිල කාව්‍යයේ දී තහවුරු කළ නිදහස් කාව්‍ය ආකෘතියයි”
කව්සිළුමිණ කවියා ග්‍රාම්‍යයයි බැහැර කරන සියලු දේ අලගියවන්න සිනා රස නඟන අයුරින් රචනා කිරීමට මනා දක්ෂ විය. කුදිය රන් රුවට පහර දෙන අයුරු අලගියවන්න පද්‍යයට නඟන්නේ සිනා රස වෑහෙන අයුරිනි.
“ රන් රුව දැක මනා
පබවතිය යන සිතිනා
තනිව තොප මෙතෙනා
කුමට අවුදැයි කියා තොසිනා”
රනින් කළ රුව ජීවමාන පබවතිය යැයි සිතා කතා කිරීමට සැරසෙන ආකාරය සහෘද සිත් සිනහවට ලක් කරයි.
දහම් සොඬ කව ද අලගියවන්න කවියාගේ විශිෂ්ට නිර්මාණයක් ලෙස අගය කළ හැකි කෘතියකි. සියබස්ලකරයේ දැක්වෙන “පෙදෙන් බුදු සිරිත, බසින් වත් සිරිත්..” යන නියමයට ගරු කරමින් රචිත කෘතියක් ලෙස අගය කළ හැකිය. ජාතක කතා පොතේ එන දහම් සොඬ කතාව මුල් කර ගනිමින් නිර්මාණය කරයි.
“ යේසුස් කිරිත්තූ
දෙවි සමයට පත්තූ
අන්තෝනි බරෙත්තූ
නමැති සෙබළකු නුගුණ යුත්තූ ”
යනාදී රසවත් භාෂාවක් යොදා ගනිමින් රචනා කිරීමට සැබෑ දක්ෂ විය. අවසානයේ යහපත ප්‍රාර්ථනා කරමින් “දහම් සොඬ කව” අවසන් කිරීමට අලගියවන්න ගත් වෙහෙස ප්‍රශංසනීයයි.
“රජ දිගා වේවා
රුපුනට නිගා වේවා
සිරි ලගා වේවා
සිරින් මුළු ලොව වගා වේවා”
රට අරාජික තත්ත්වයකට මුහුණ පා සිටි අවස්ථාවේ සිංහල කලා කෙත පුරන් වීමට ඉඩ නොතැබූ විශිෂ්ට පුද්ගලයෙකු ලෙස අලගියවන්න කවියා හඳුනා ගත හැකිය.
No comments:
Post a Comment