Friday, July 16, 2021

මාරාන්තික කොරෝනා වසංගතය

ලංකාවේ සංචරණ සීමා කාලය 




 මුළු මහත් ලෝකයේ ම ගොදුරක් බවට පත් වූ කොරෝනා වෛරසය වත්මන වන විට ලාංකික පරිසරයට දැඩි බලපෑමක් එල්ල කර ඇත. එවැනි පසුබිමක රටේ නිරෝධායන නීති පැනවීම, සංචරණ සීමා දැඩි කිරීම යනාදී තීරණවලට එළැඹුණේ විශේෂඥ කණ්ඩායම්වල උපදෙස් මතයි. එය පොදුවේ රටේ සහ සමාජයේ ආරක්ෂාව තකා ක්‍රියාත්මක වන්නකි. ලාංකික පුරවැසියෝ දේශපාලන කණ්ණාඩි පසෙකලා මේ මොහොතේ රජයේ තීන්දුවලට අනුගත විය යුතුය.

පොලීසියට බයේ මුව ආවරණ පලඳින, සංචරණ සීමා නොතකන, නිරෝධායන නීති කඩ කරන ඇතැම් පුද්ගලයන්ගේ ක්‍රියා කලාප හේතුවෙන් සමස්ත සමාජය ම එහි ගොදුරක් බවට පත් වී ඇත. එවැන්නන් කියා පෑවේ අනෙක් සියලු දෙනා මැරී ගිය ද තමන්ට මරණය නොඑන තාක් ඔවුන් මරණය ගැන සැලකිලිමත් නැති බව නොවේ ද? මෙවැනි අවිචාරවත් හැසිරීම් සහිත පුද්ගලයන් අනතුරේ හෙළනුයේ සමස්ත සමාජයක්මය. තම ආත්මාර්ථය තකා සමස්ත සමාජය අනතුරකට ඇද දමන්නවුන් වෙනුවෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය වෙයි. ඒ මන්ද රජයේ අභිලාසය වන කොවිඩ් රෝගය පැතිරීම වලක්වා ගැනීම “ඉබ්බා දියට දැම්මා” හා සමාන නිෂ්ප්‍රයෝජන කටයුත්තක් වන බැවිනි. ආරක්ෂක අංශය මෙලෙස අවිචාරවත් හැසිරීම් සහිත පුද්ගලයන් බලහත්කාරයෙන් රැගෙන යාම සමාජ මාධ්‍යවල විවේචනයට පවා ලක්කර තිබුණි. එය මානව අයිතිවාසිකම් කඩ කිරීමක් ලෙස ද අර්ථ ගන්වා ඇත. 

මානව අයිතිවාසිකම් අධි භාවිතයක් ගැන මෙරට ඇතැම්හු බලාපොරොත්තු වෙති. නමුත් එය ප්‍රායෝගික නැත. “තමන්ගේ අත ඇති සැරයටිය දික් කළ හැක්කේ අනෙකාගේ නාසය අසලට පමණි” යන්න නිදහස සම්බන්ධයෙන් ඇති ප්‍රකට කියමනකි. මානව අයිතිවාසිකම් පිළිබඳ කෑ මොර දෙන්නන් මෙවැනි ප්‍රකාශන පිළිබඳ අවධානය යොමු නොකිරීම කනගාටුදායකය. වත්මන වන විට ලංකාවේ සීඝ්‍රයෙන් පැතිරී යන කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමට සොඛ්‍යය අංශය මහත් වෑයමක නිරත වෙයි. මානව අයිතිවාසිකම් මුවාවෙන් සමස්ත සමාජය ම අහිතකර තත්ත්වයකට ඇද දැමීමට සැරසෙන පුද්ගලයන් නීතියේ රැහැනට ගත යුතුය. මක් නිසා ද මෙවැනි අයහපත් තත්ත්වයකට  රට පත්ව ඇති මොහොතක  දී සානුකම්පිතව සිතා කටයුතු කිරීමට යාම හේතුවෙන් සමස්ත සමාජයට ම එයින් වන්දි ගෙවීමට සිදු වෙයි. 

තෙවැනි රැල්ලේ ව්‍යාප්තිය ලංකාව වැනි රටකට ඉසිලිය නොහැකි තත්ත්වයක් වුව ද කොරෝනා මරුවාගෙන් ජීවිත ගලවා ගැනීමට රජය විසින් විශාල මුදලක් දැනටමත් ආයෝජනය කර හමාරය. එය අනිකක් නිසා නොව රජයේ අභිලාසය වන්නේ හැකි ඉක්මනින් කොරෝනා මාරයාගෙන් ජීවිත ආරක්ෂා කර ගනිමින් රට යථා තත්ත්වයට පත් කර ගැනීමයි. ඒ සදහා රජය ඇතුළු සමස්ත සෞඛ්‍ය අංශ නිලධාරීහු ජීවිතයත් මරණයත් අතර සටනකට උර දෙති. සංචරණ සීමා පනවමින්, නිරෝධායන නීති ක්‍රියාත්මක කරමින් හැකි ඉක්මනින් මෙය පාලනය කිරීමට උත්සුක වෙති. 

මෙලෙස රට වසා දැමීම හේතුවෙන් රාජ්‍ය ආදායම ද ඍණාත්මකව පහළ ගොස් ඇති බව නොරහසකි. මේවායින් අනිසි ප්‍රයෝජන ගැනීමට තැත් දරන ආණ්ඩු විරෝධි පුද්ගලයන් නැතුවා ම නොවෙයි. “කොළඹට කිරි ගමට කැකිරි” යනාදී අපහාසාත්මක අයුරින් ආණ්ඩුව විවේචනය කරයි. නමුත් සැබෑ තත්ත්වය එසේ නොවෙයි. කිසිඳු භේදයකින් තොරව හැකි උපරිමයෙන් තීන්දු තීරණ ගැනීමට රජය උත්සුක වෙයි.

 වැඩිහිටි දීමනා, සමෘද්ධි දීමනා, අඩු ආදායම් පවුල් සඳහා රුපියල් 5000  දීමනා ලබා දෙමින් ගම්බද ජනතාවට ද යහපත සලසා දීමට රජය ගත් ක්‍රියාමාර්ග ප්‍රසංශනීයයි. සංචරණ සීමා පනවා ඇති පසුබිමක වුව ද කොළඹ නගරයට ඇතුළු වන අත්‍යවශ්‍ය සේවා රථවලට වර්ණ එකොළහකින් යුත් විශේෂ ස්ටිකර් වර්ගයක් හඳුන්වා දී ඇත. මෙලෙස විවිධ නීති රීති පනවමින් ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා සපුරා ගැනීමට ද අවස්ථාව සලසා දීම අගය කළ යුක්තකි. සංචරණ සීමා පනවමින් බලාපොරොත්තු වන්නේ කොවිඩ් වෛරසය ව්‍යාප්තිය අවම කිරීම මිස ස්ටිකරයක් අලවා මාර්ගයට පිවිසීම නොවෙයි. මෙයින් අනිසි ප්‍රයෝජන ගැනීමට තැත් කරනා ඇතැම් පිරිස් දක්නට ලැබෙයි. ආච්චි අම්මාගේ බෙහෙත් තුණ්ඩුව අරන් මුණුපුරා මෝටර් රථයකින් ගමන් කිරීම වැනි වංචනික ලෙස කටයුතු කරන්නන් සොයා නීතියේ රැහැනට නතු කර ගැනීම අත්‍යවශ්‍ය මොහොතකි. නමුත් මෙවැනි නීතිවලට සහය ලබා දෙමින් කටයුතු කරන පුද්ගලයන් නැතුවා ම නොවෙයි. 

සංචරණ සීමා කාලය තුළ වුව ද අවම ධාරිතාවකට යටත් වෙමින් එන්නත්කරණ වැඩ සටහන ද  සැලසුමක් සහිතව ක්‍රියාත්මක කිරීම අගය කළ යුක්තකි. මේ වසර අවසානය වන විට ලංකාවට ම එන්නත්කරණ වැඩ සටහන දියත් කරමින් කොරෝනා මාරයාගෙන් ජීවිත ආරක්ෂා කරවීමට රජය කටයුතු කරයි.

රජයේ උගත් බලධාරින්  දැනට පනවා ඇති සංචරණ සීමා නීති, අනිවාර්ය නිරෝධායන දින 14 කාල සීමාවන්ට ලාංකික පුරවැසියන් අවනත විය යුතු ය. ස්වයං විනයක් ස්වයං හික්මීමක් තමා තුළ ම ගොඩනඟා ගත යුතුය. එවිට, චීනය වැනි බලවත් රටවල් පාලනය කර ගත් කොරෝනා වෛරසයට සාර්ථකව මුහුණ දීම එතරම් අපහසු කාර්යයක් නොවේ.

 

 - සචිනි නිමේෂිකා - 


No comments:

Post a Comment

ඇයයි මගේ අම්මා ❤️

ගැබ්බර වේදනා දරා දසමස හොවා  මෙලොවට මා දොවා හිනැහුණා ඔබ පරදා වේදනා  රතු රුහිරු කිරි කරන් සෙනෙහසින් මා වඩන් " මගෙ පුංචි දෝණිනේ කීවේ ආඩම්බ...