Friday, August 6, 2021

කුවේණි අස්න


කුවේණි අස්න නිර්මාණාත්මක කෘති රචනයෙහිලා කොතෙක් දුරට ඉවහල් කර ගත හැකිද ?




ගද්‍ය කෘති දුර්ලභ වූ ශ්‍රී ජයවර්ධනපුර යුගයේ හයවන පරාක්‍රමබාහු රජු දවස ලියවුණු විශේෂිත ගද්‍ය ප්‍රබන්ධයක් ලෙස කුවේණි අස්න හැඳින්විය හැකිය. කුරුණෑගල යුගයේ ලියවුණු දළදා සිරිතට පසුව වෘත්ත ගන්ධි ශෛලියෙන් ලියන ලද කෘතියකි. කුවේණි අස්න මෙතරම් දුරට සහෘදයාගේ සිත් රංජනය කිරීමට හේතු වී ඇත්තේ මෙහි එන වෘත්ත ගන්ධි රීතියයි. 

වෘත්ත ගන්ධි ශෛලිය යනු, අර්ධ වෘත්තයන්ගෙන් යුතුව රචනා කර ඇති ශෛලියකි. මෙය මුක්තක රචනා ශෛලියට වඩා තරමක් ගැඹුරු රචනා ශෛලියකි. මාත්‍රා හයෙන් හෝ අට වැනි මාත්‍රා ගණනකින් යතිය තබා වෘත්තයක ඒක දේශයක් හෝ සම්බන්ධ කරමින් කරනු ලබන රචනාවයි. මෙකී ශෛලියේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ වන්නේ,

* දිගු වාක්‍යවලින් යුක්ත වීම
* කාව්‍ය භාෂාවේ එන විශේෂයෙන් පද්‍ය සඳහා උපයෝගී කර ගන්නා වචන භාවිත කිරීම.
* අනුප්‍රාසාත්මක ශබ්ධ මාධූර්යය ජනිත කරවන අයුරින් අක්ෂර, පද, වචන පෙළ ගැස්වීම. 
* තාලයට කියවිය හැකි වීම

මෙබදු මූලික ලක්ෂණවලින් යුක්ත ශෛලිය වෘත්ත ගන්ධි ශෛලිය ලෙස හඳුන්වයි. මෙය වනාහි කවියාගේ ප්‍රතිභා ශක්තිය උරගා බැලිය හැකි උරගලක් යැයි “ ගද්‍යං කවීනං නික්ෂා වදන්ති” යන සංස්කෘත පඩිවරුන්ගේ අදහස්වලින් පැහැදිලි වෙයි.
 
මෙකී වෘත්ත ගන්ධි ශෛලිය කුවේණි අස්න, දළදා සිරිත, සිහබා අස්න යනාදී කෘති තුළින් විද්‍යමාන වෙයි. මෙය කොතෙක් දුරට නිර්මාණාත්මක රීතිය උදෙසා යෝග්‍ය වේද? යන්න බැලීමේදී කුවේණි අස්න තුළින් එය මනාව ප්‍රතීයමාන වෙයි. 

කුවේණි අස්න දීර්ඝ ප්‍රබන්ධයක් නොවූව ද වෘත්ත ගන්ධි ශෛලියේ ලාලිත්‍යයෙන් යුක්තව හඬ නඟා කියවිය හැකි අයුරින් නිර්මාණය කිරීමට රචකයා දක්ෂ වී ඇති අයුරු පෙනේ. වාක්‍ය එකිනෙක ඒකාබද්ධ කරමින් එක ම අඛණ්ඩ ඡේදයක් ලෙසින් පමණක් නොව එක ම දීර්ඝ වාක්‍යයක් වශයෙන් මේ ප්‍රබන්ධය කිරීමට කතෘවරයා මනා වෑයමක් යොදා ඇත.
 
යාදිනි ස්වරූපයේ (උස් හඩින්) සම්ප්‍රදායට මෙය ගැලපුණ ද නිර්මාණාත්මක කෘති රචනයෙහිලා එතරම් සාර්ථක නොවෙයි. ඒ මන්ද නිර්මාණාත්මක කෘති බොහෝ විට රචනා කරන්නේ සහෘද පාඨකයාට හුදු රසවින්දනය ලබා දීම අරමුණු කර ගනිමිනි.  එක දිගට නොනවත්වා ඡේද ගණන් කියවා ගෙන යාම නිසා අර්ථ රසයට බාධා පැමිණේ. චරිත අතර අන්තර් සම්බන්ධතාවය පවා තේරුම් ගැනීමට අසීරු වේ. මෙය කුවේණි අස්න ආරම්භයේදී ම මනාව පැහැදිලි වෙයි. 

“ස්වස්ති වර ත්‍රිභුවනාධාර ගුණරත්න වාරාකරොදාර දුර්වාරතර ඝොර මාරාරිභඬ්කාර කළහාර හරතාර... ”

යනාදී කර්ණ කඨෝර භාෂා විලාසයකිනි. පාඨකයාට මේ පවසන්නේ කුමක්ද? යන්න පවා එකවිට නොහැඟෙන්නේ භාවිත කඨෝර භාෂාව හේතුවෙනි. 

මෙබඳු කඨෝර භාෂාවක් භාවිතයට ගත්ත ද, මටසිළිටි රමණීය ව්‍යවහරයන්ද තැනින් තැන දක්නට ලැබේ. කුවේණියගේ විරහ වේදනාව නමැති වැලපීම වෘත්ත ගන්ධි ශෛලිය ද ඉක්ම ගිය පද්‍යයක ස්වාභාවය ගෙන ඇති බවක් දක්නට ලැබේ. 

“හමන මඳනල සඳුන් සිසිල් ගිනි සේ දැනේ සුවඳ මල් පෙති අතුළ යහන කටු සේ දැනේ ...”

කොතරම් රමණිය වාග් කෝෂයකින් අලංකාර කර ඇති ද, යන්න පසක් කරයි. මෙය ගද්‍ය කෘතියක් වුව ද, ගද්‍ය භාෂාව ඉක්ම ගිය පද්‍යයක සුවඳ හමන කෘතියක් ද යන්න යම් විටෙක සිතට නැගෙන්නේ බොහෝ දුරට වෘත්ත ගන්ධි ශෛලිය යොදා ඇති නිසාවෙනි. 

නිර්මාණාත්මක කෘති සඳහා මෙවැනි ගද්‍ය භාෂාවකට පමණක් වහල් නොවී පද එකිනෙක වෙන් කර ගැනීමට හැකි අයුරින් නිර්මාණය කිරීම ඉතා වැදගත්ය. එවිට කියවන පාඨකයාට ද දිගින් දිගට ම කියවා ගෙන යාමට රුචියක් ඇති කරයි. එක දිගට කියවා ගෙන යාමේ දී ඇති වන වෙහෙසකාරී බව ද මඟ හරවා ගැනීමට හැකි වෙයි. 

නාට්‍යයක විලාසයට උචිත වන අයුරින් භාෂාව හැසිර වීමට කතෘවරයා මනා නිපුණත්වයක් උසුලා ඇත. 

“නුවනගින් බලා කපු කටින්නිය රුසිරු ලොව වටින්නිය කුවේණිය යකින්නිය ළඟට ගොස් දකින්නිය නුවනගින් බලන්නිය...”

පාඨකයාට ගීතයක  මිහිර  විඳිනවා හා  සමාන වින්දනයක් ලැබීමට හැකියාව ලැබෙයි. 
එසේම  ඇතැම් තැන්වල සංස්කෘත භාෂාව පමණක් උපයෝගී කරගෙන ඇති බවක් පෙනී යයි. මෙය නිර්මාණාත්මක කෘති රචනයෙහිලා නම් එතරම් සුදුසු නොවේ. කියවන පාඨක ජනයාට අප්‍රසාදයක් ඇති වීමට මෙය හේතුවක් වෙයි. පහත නිදසුන් මඟින් එය තීව්‍ර වෙයි. 

“නො හඬු පුඩු නො කළ බඩු ස මුඩු මිණි පඬුරු කොට පඬි රජුට යවා රට දකුණු මදුරාපුරෙන් ලකුණු සර චන්ද්‍රකුල ජලධි ශශි...”

මෙවැනි තැන්වලදී මෙයින් හමා එන සුන්දර මිහිරියාව ගිලිහී යයි. නමුත් කුවේණිය කෙරෙහි පාඨක සිත්හි අනුකම්පා රසය ඇතිවන අයුරින් කියා පෑමට සරල භාෂාවක් යොදා ගෙන ඇත. මෙය නිර්මාණාත්මක කෘති රචනයෙහිලා වැදගත් වෙයි. පුරාණෝක්ති භාවිත කරමින් රසවත්ව කියා පෑමට කතෘවරයා සමත් වී ඇත.

“...කොයි ගොසින් කොයි අනේ, රැකෙමි දැන් දෙවියනේ, කිය කියා අඩමිනේ, නෙත් කඳුළු ඉසිමිනේ, අඳෝනා කියමිනේ...”

මෙය කුවේණියගේ වලප ලෙස හඳුන්වයි. මෙවැනි වලපක් සිහබා අස්නෙහි ද දක්නට ලැබෙයි. දෙවියනේ, අඩමිනේ, ඉසිමිනේ, කියමිනේ යන වාග් කෝෂය හේතුවෙන් පාඨකයාගේ සිත්හි අනුකම්පාවක් නිරායාසයෙන් ම ගලා එන අයුරින් නිර්මාණය කර ඇත. පුරාණෝක්ති භාවිතයට ගනිමින් විරිතක සුවඳ හමා එන ආකාරයට නිර්මාණය කිරීමට කතෘවරයා සැබෑ නිපුණත්වයක් දක්වා ඇති අයුරු පෙනේ. ගද්‍ය කෘතියක් වුවද ගද්‍ය භාෂාවට පමණක් වහල් නොවී විවිධ භාෂා ප්‍රයෝග යොදා ගනිමින් රචනා කිරීමට දක්ෂ වී ඇති බව පෙනේ. 

ෂට් භාෂා පරමේෂ්වර උතුරු මුළ මහතෙරිඳු විසින්  කරන කුවේණි අස්න නිර්මාණාත්මක කෘති රචනයෙහිලා කොතෙක් දුරට ඉවහල් කර ගත හැකිද යන්න යථෝත්ක නිදසුන් තුළින් පැහැදිලි වෙයි.
        

Thursday, August 5, 2021

BBQ party with my family friends🔥



 






මගේ අත්කම් සැරසිලි

 






පපුවේ උණුහුම ❤️



මා රුව මුල්වර

මා දුටු කැඩපත

සෙනෙහස උතුරන

ඔය නිල් දෙනයන

ඇසිපිය නොසලම

බලාන උන්නම

බැල්මක් ඇති

නැලවී සැනසෙන්නට

දෝරේ ගලන ඔය

පපුවේ උණුසුම

තුරුලේ ගුලිවී

වින්ද අපූරුව

කාලය ගෙවුනත්

නොදැනිම ඈතට

විදින්න ආසයි 

අම්මේ ආයෙම.

මා මැවූ රස විමන

 















කිතුනු ගීත සාහිත්‍යය



 16 වන සියවසයේ ලන්දේසි සමය තෙක් ඈත අතීතයකට හිමිකම් කියන කිතුනු ගීත පිබිදීම ලාංකීය පරිසරය නව ප්‍රබෝධයක් කරා රැගෙන යාමට සමත් විය. සාහිත්‍ය අංගයක් ලෙස කිතුනු ගීත පිබිදීම නිර්මාණය වන්නේ ජෝශප් වාස් පියතුමාගේ මූලිකත්වයෙන් යැයි බොහෝ දෙනෙක් පවසයි. ලාංකිකයෙක් නොවූණත් කිතුනු ආගම සහ සාහිත්‍යය ලාංකික පරිසරයේ ආරක්ෂා කර ගැනීමට ලන්දේසීන්ගෙන් සැඟවෙමින් හා ආරක්ෂා වෙමින් මෙතුමා කටයුතු කර ඇත. මොහුගෙන් පසුව කිතුනු ගීතයට නැවුම් බවක් ගෙන එමින් විසිරී පැතිරී තිබුණු කිතුනු ගීත සාහිත්‍යය නව ප්‍රබෝධයක් කරා රැගෙන ඒමට බොහෝ දෙනා කටයුතු කරයි. සියලු ශ්‍රී ලාංකිකයන්ට රස විඳිය හැකි මාධ්‍යයක් බවට ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා සහ ගරු මර්සලින් ජයකොඩි පියතුමා කිතුනු ගීත පෝෂණය කිරීමට කටයුතු කරයි. ඒ අතර ගරු මර්සලින් ජයකොඩි පියතුමා සුවිශේෂ වන්නේ ලාංකිකයන්ට රස විඳිය හැකි පරිදි උන් වහන්සේ අතින් ම ගීත නිර්මාණය වීමයි. 

ජන විඥානය කෙරෙහි මෙන් ම දේශීය සංගීත සංස්කෘතිය කෙරෙහි ප්‍රබල බලපෑමක් නත්තල් සමයේ ගැයෙන කැරොල් ගීතවලින් මෙන් ම දේව වන්දනා ගීතිකාවලින් ද ඇති කර තිබේ. ගී ගැයීමෙන් දෙවිඳුන් නැමදීමත් දෙවියන් උදෙසා කරන ප්‍රශංසාවන් ද කිතුනු බැතිමතුනගේ නමස්කාර ක්‍රමයේ වැදගත් අංශයක් වේ. ගීතිකා යන්න කිතුනු සංස්කෘතියේ නිතර භාවිතයට ගනු ලබන වචනයකි. 

මර්සලින් ජයකොඩි පියතුමා විසින් රචිත කැරොල් ගීත ගීතවත් බවින් මෙන් ම අර්ථාන්විත බවින් ද පිරිපුන් ය. එයට කඳිම නිදසුනක් ලෙස සීතල උදුවප් මාසය පැමිණ ඇති බව පසක් කරන “සීනු හඩින් ලොව පිබිදෙනවා” ගීතයෙන් පෙන්නුම් කරයි.


                                 සීනු හඩින් ලොව පිබිදෙනවා 

                                 නත්තල දොර ළඟ හිනැහෙනවා

                                 ගව හලකට තරුවක් යනවා 

                                 අහසට පොළව ගැටේ ...   


මර්සලින් ජයකොඩි මහතා පද රචනය, සංගීතය හා ගායනය යන ත්‍රිත්වය ම  මොහු විසින් ම සිදු කිරිම විශේෂත්වයකි. වත්මනේ කලාශුරී ලතා වල්පොල මහත්මිය ගායනා කරන අතර මර්සලින් ජයකොඩි පියතුමාගේ අපූර්ව කවීත්වය මනාව පිළිඹිබු කරන කැඩපතක් ලෙස හැඳින්විය හැකිය. 

කිසිදු ආගම් බේදයකින් තොරව ලොකු කුඩා සියලු දෙනා මහත් ඇල්මක් දක්වන ගීතයක් ලෙස “රෑ තරු බබළනවා- මල් පිපිලා වගේ” ගීතය හඳුනා ගත හැකිය. ගීතයට යොදා ගෙන ඇති උපමා තුළින් පරිසරය සොබාදහමට කොතරම් ආදරයක්, කරුණාවක් දක්වනවා ද යන්න මේ ගීතය සාක්ෂි සපයයි. මුළු ගීතය පුරාවට ම උපමාවලින් වාග් කෝෂය සරසාලීමට තරම් ජයකොඩි මහතා භාෂාව කෙරෙහි කොතරම් උන්නදුවක් දැක් වූවේද යන්න පසක් වෙයි. ඉතා සරල වාග් කෝෂයක් යොදා ගත්ත ද රසවත් අයුරින් කියා පෑමට කටයුතු කරයි. කුඩා දරුවන් මෙන් ම වැඩිහිටියන් ද ගීතයට මෙතරම් ඇලුම් කරන්නේ එබැවිනි. 

                          රෑ තරු බබළනවා - මල් පිපිලා වාගේ 

                          එළියෙන් නැහැවෙනවා - මල් වැහැලා වාගේ

                          රැව් පිළිරැව් දෙනවා - ගීත නාද වාගේ ... 


බුදුන්ගේ උප්පත්තිය සිදු වූයේ රමණීය සිත් ගන්නා පරිසර වටපිටාවකයි. ඡේසු බිළිදාගේ උප්පත්තිය ද එබඳු සුන්දර පරිසරයක් හා බද්ධ වෙමින් සිදු වී ඇත. එකී අසිරිමත් මොහොත රසික ජනයාගේ හදවතට කියා පෑමට ජයකොඩි මහතා කොතරම් දක්ෂතාවයක් දක්වා ඇති ද යන්න පැහැදිලි වෙයි. ඒ බව “බෙත්ලෙහෙමේ අද රෑ උපන්දා” ගීතයෙන් මනාව පෙන්නුම් කරයි.

 

                           බෙත්ලෙහෙමේ අද රෑ උපන්දා 

                           ලස්සන බිළිදෙකි මල් වාගේ

                           මවගේ ළයේ සුරතල් විදිනා 

                           මුතු වැනි රූ සපුවයි ඇගේ...


මර්සලින් ජයකොඩි පියතුමාට බොහෝ දෙනෙක් පැවසුවේ “පන්සලේ පියතුමා”, “පල්ලියේ බෝපත” යන අන්වර්ථ නාමයෙනි. ඊට සුවිශේෂ හේතුවක් වූයේ කතෝලික පූජකවරයෙකු වූවත් උන්වහන්සේ සතුව බෞද්ධ විඥාන දෘෂ්ටියක් පැවති බැවිනි. ඒ බව කදිමට කියාපාන රසවත් ගීතයක් ලෙස “මගේ අම්මගේ අම්මා දිනෙක” ගීතයෙන් මනාව පෙන්නුම් කරයි. පූජකතුමෙකු වුවද අම්මාගේ පරපුරේ සංස්කෘතිය කිසිඳු දිනෙක අඩු තක්සේරුවකට ලක් කිරීමට මොහු කටයුතු නොකිරීම විශේෂ ලක්ෂණයකි. 


මගේ අම්මගේ අම්මා දිනෙක 

නෙළුම් මලක් නෙළලා 

පෝය රෑක බුදුන් වැන්දා 

දුවක් දෙන්න කියාලා...

කිතුනු පූජකවරයකු වුවද අන්‍ය ආගම් දෙස සානුකම්පිත දෘෂ්ටියක් යොමු කළ බව මොහුගේ ගීත රැසකගෙන් කියා පායි. අනෙකාගේ සංස්කෘතිය පිළිගැනීම, ගරු කිරීම මොහු සතුව පැවති උසස් ගුණාංග ලෙස අගය කළ හැකිය.  

වත්මන වන විට මර්සලින් ජයකොඩි පියතුමා මෙන් කිතුනු ගීත සාහිත්‍යය පෝෂණය කිරීමට බොහෝ සාහිත්‍යකරුවන් උත්සහ ගනිමින් කටයුතු කරන ආකාරයක් දක්නට ලැබේ. 

ජීවිත මිරිඟුව

 



අමතක වුණ තැන් 

ආයෙම මතකෙට ආවා

මඟ හැරුණ තැන්

ආයෙම මුණ ගැහුණා


හිනා නොවුණු තැන්

හිනාවෙන් පිරෙව්වා 

අඩුපාඩු උන තැන්

හරි ගස්සලා දුන්නා


ජීවිතය මිරිඟුවක්

ඒ පස්සෙ දුවන

මම පුංචි මනුස්සයෙක් 

තරුවකට රැවටුණ ♥️

නිදි නැති රැය

 


උඹ නිදි ඇති !!!

උඹ ආසම හීනවල

හුස්ම ගන්න ගමන්


මමත් ආසම හීනවල

හුස්ම ගන්නවා

ඇස් ඇරගෙන

කල්පනා කරන ගමන්  ♥️

Wednesday, August 4, 2021

යලි එන තුරා





පාළු අහසට එලිය දෙන සඳ

කළු වලාවෙන් වැසීගිය කල

තරු කැට දහසක් පායා ආවද

නොමැකෙයි සඳ යලි එන තුරාවට


 - සචිනි නිමේෂිකා -


ඇයයි මගේ අම්මා ❤️

ගැබ්බර වේදනා දරා දසමස හොවා  මෙලොවට මා දොවා හිනැහුණා ඔබ පරදා වේදනා  රතු රුහිරු කිරි කරන් සෙනෙහසින් මා වඩන් " මගෙ පුංචි දෝණිනේ කීවේ ආඩම්බ...