Thursday, August 5, 2021

කිතුනු ගීත සාහිත්‍යය



 16 වන සියවසයේ ලන්දේසි සමය තෙක් ඈත අතීතයකට හිමිකම් කියන කිතුනු ගීත පිබිදීම ලාංකීය පරිසරය නව ප්‍රබෝධයක් කරා රැගෙන යාමට සමත් විය. සාහිත්‍ය අංගයක් ලෙස කිතුනු ගීත පිබිදීම නිර්මාණය වන්නේ ජෝශප් වාස් පියතුමාගේ මූලිකත්වයෙන් යැයි බොහෝ දෙනෙක් පවසයි. ලාංකිකයෙක් නොවූණත් කිතුනු ආගම සහ සාහිත්‍යය ලාංකික පරිසරයේ ආරක්ෂා කර ගැනීමට ලන්දේසීන්ගෙන් සැඟවෙමින් හා ආරක්ෂා වෙමින් මෙතුමා කටයුතු කර ඇත. මොහුගෙන් පසුව කිතුනු ගීතයට නැවුම් බවක් ගෙන එමින් විසිරී පැතිරී තිබුණු කිතුනු ගීත සාහිත්‍යය නව ප්‍රබෝධයක් කරා රැගෙන ඒමට බොහෝ දෙනා කටයුතු කරයි. සියලු ශ්‍රී ලාංකිකයන්ට රස විඳිය හැකි මාධ්‍යයක් බවට ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා සහ ගරු මර්සලින් ජයකොඩි පියතුමා කිතුනු ගීත පෝෂණය කිරීමට කටයුතු කරයි. ඒ අතර ගරු මර්සලින් ජයකොඩි පියතුමා සුවිශේෂ වන්නේ ලාංකිකයන්ට රස විඳිය හැකි පරිදි උන් වහන්සේ අතින් ම ගීත නිර්මාණය වීමයි. 

ජන විඥානය කෙරෙහි මෙන් ම දේශීය සංගීත සංස්කෘතිය කෙරෙහි ප්‍රබල බලපෑමක් නත්තල් සමයේ ගැයෙන කැරොල් ගීතවලින් මෙන් ම දේව වන්දනා ගීතිකාවලින් ද ඇති කර තිබේ. ගී ගැයීමෙන් දෙවිඳුන් නැමදීමත් දෙවියන් උදෙසා කරන ප්‍රශංසාවන් ද කිතුනු බැතිමතුනගේ නමස්කාර ක්‍රමයේ වැදගත් අංශයක් වේ. ගීතිකා යන්න කිතුනු සංස්කෘතියේ නිතර භාවිතයට ගනු ලබන වචනයකි. 

මර්සලින් ජයකොඩි පියතුමා විසින් රචිත කැරොල් ගීත ගීතවත් බවින් මෙන් ම අර්ථාන්විත බවින් ද පිරිපුන් ය. එයට කඳිම නිදසුනක් ලෙස සීතල උදුවප් මාසය පැමිණ ඇති බව පසක් කරන “සීනු හඩින් ලොව පිබිදෙනවා” ගීතයෙන් පෙන්නුම් කරයි.


                                 සීනු හඩින් ලොව පිබිදෙනවා 

                                 නත්තල දොර ළඟ හිනැහෙනවා

                                 ගව හලකට තරුවක් යනවා 

                                 අහසට පොළව ගැටේ ...   


මර්සලින් ජයකොඩි මහතා පද රචනය, සංගීතය හා ගායනය යන ත්‍රිත්වය ම  මොහු විසින් ම සිදු කිරිම විශේෂත්වයකි. වත්මනේ කලාශුරී ලතා වල්පොල මහත්මිය ගායනා කරන අතර මර්සලින් ජයකොඩි පියතුමාගේ අපූර්ව කවීත්වය මනාව පිළිඹිබු කරන කැඩපතක් ලෙස හැඳින්විය හැකිය. 

කිසිදු ආගම් බේදයකින් තොරව ලොකු කුඩා සියලු දෙනා මහත් ඇල්මක් දක්වන ගීතයක් ලෙස “රෑ තරු බබළනවා- මල් පිපිලා වගේ” ගීතය හඳුනා ගත හැකිය. ගීතයට යොදා ගෙන ඇති උපමා තුළින් පරිසරය සොබාදහමට කොතරම් ආදරයක්, කරුණාවක් දක්වනවා ද යන්න මේ ගීතය සාක්ෂි සපයයි. මුළු ගීතය පුරාවට ම උපමාවලින් වාග් කෝෂය සරසාලීමට තරම් ජයකොඩි මහතා භාෂාව කෙරෙහි කොතරම් උන්නදුවක් දැක් වූවේද යන්න පසක් වෙයි. ඉතා සරල වාග් කෝෂයක් යොදා ගත්ත ද රසවත් අයුරින් කියා පෑමට කටයුතු කරයි. කුඩා දරුවන් මෙන් ම වැඩිහිටියන් ද ගීතයට මෙතරම් ඇලුම් කරන්නේ එබැවිනි. 

                          රෑ තරු බබළනවා - මල් පිපිලා වාගේ 

                          එළියෙන් නැහැවෙනවා - මල් වැහැලා වාගේ

                          රැව් පිළිරැව් දෙනවා - ගීත නාද වාගේ ... 


බුදුන්ගේ උප්පත්තිය සිදු වූයේ රමණීය සිත් ගන්නා පරිසර වටපිටාවකයි. ඡේසු බිළිදාගේ උප්පත්තිය ද එබඳු සුන්දර පරිසරයක් හා බද්ධ වෙමින් සිදු වී ඇත. එකී අසිරිමත් මොහොත රසික ජනයාගේ හදවතට කියා පෑමට ජයකොඩි මහතා කොතරම් දක්ෂතාවයක් දක්වා ඇති ද යන්න පැහැදිලි වෙයි. ඒ බව “බෙත්ලෙහෙමේ අද රෑ උපන්දා” ගීතයෙන් මනාව පෙන්නුම් කරයි.

 

                           බෙත්ලෙහෙමේ අද රෑ උපන්දා 

                           ලස්සන බිළිදෙකි මල් වාගේ

                           මවගේ ළයේ සුරතල් විදිනා 

                           මුතු වැනි රූ සපුවයි ඇගේ...


මර්සලින් ජයකොඩි පියතුමාට බොහෝ දෙනෙක් පැවසුවේ “පන්සලේ පියතුමා”, “පල්ලියේ බෝපත” යන අන්වර්ථ නාමයෙනි. ඊට සුවිශේෂ හේතුවක් වූයේ කතෝලික පූජකවරයෙකු වූවත් උන්වහන්සේ සතුව බෞද්ධ විඥාන දෘෂ්ටියක් පැවති බැවිනි. ඒ බව කදිමට කියාපාන රසවත් ගීතයක් ලෙස “මගේ අම්මගේ අම්මා දිනෙක” ගීතයෙන් මනාව පෙන්නුම් කරයි. පූජකතුමෙකු වුවද අම්මාගේ පරපුරේ සංස්කෘතිය කිසිඳු දිනෙක අඩු තක්සේරුවකට ලක් කිරීමට මොහු කටයුතු නොකිරීම විශේෂ ලක්ෂණයකි. 


මගේ අම්මගේ අම්මා දිනෙක 

නෙළුම් මලක් නෙළලා 

පෝය රෑක බුදුන් වැන්දා 

දුවක් දෙන්න කියාලා...

කිතුනු පූජකවරයකු වුවද අන්‍ය ආගම් දෙස සානුකම්පිත දෘෂ්ටියක් යොමු කළ බව මොහුගේ ගීත රැසකගෙන් කියා පායි. අනෙකාගේ සංස්කෘතිය පිළිගැනීම, ගරු කිරීම මොහු සතුව පැවති උසස් ගුණාංග ලෙස අගය කළ හැකිය.  

වත්මන වන විට මර්සලින් ජයකොඩි පියතුමා මෙන් කිතුනු ගීත සාහිත්‍යය පෝෂණය කිරීමට බොහෝ සාහිත්‍යකරුවන් උත්සහ ගනිමින් කටයුතු කරන ආකාරයක් දක්නට ලැබේ. 

No comments:

Post a Comment

ඇයයි මගේ අම්මා ❤️

ගැබ්බර වේදනා දරා දසමස හොවා  මෙලොවට මා දොවා හිනැහුණා ඔබ පරදා වේදනා  රතු රුහිරු කිරි කරන් සෙනෙහසින් මා වඩන් " මගෙ පුංචි දෝණිනේ කීවේ ආඩම්බ...