Friday, August 6, 2021

කුවේණි අස්න


කුවේණි අස්න නිර්මාණාත්මක කෘති රචනයෙහිලා කොතෙක් දුරට ඉවහල් කර ගත හැකිද ?




ගද්‍ය කෘති දුර්ලභ වූ ශ්‍රී ජයවර්ධනපුර යුගයේ හයවන පරාක්‍රමබාහු රජු දවස ලියවුණු විශේෂිත ගද්‍ය ප්‍රබන්ධයක් ලෙස කුවේණි අස්න හැඳින්විය හැකිය. කුරුණෑගල යුගයේ ලියවුණු දළදා සිරිතට පසුව වෘත්ත ගන්ධි ශෛලියෙන් ලියන ලද කෘතියකි. කුවේණි අස්න මෙතරම් දුරට සහෘදයාගේ සිත් රංජනය කිරීමට හේතු වී ඇත්තේ මෙහි එන වෘත්ත ගන්ධි රීතියයි. 

වෘත්ත ගන්ධි ශෛලිය යනු, අර්ධ වෘත්තයන්ගෙන් යුතුව රචනා කර ඇති ශෛලියකි. මෙය මුක්තක රචනා ශෛලියට වඩා තරමක් ගැඹුරු රචනා ශෛලියකි. මාත්‍රා හයෙන් හෝ අට වැනි මාත්‍රා ගණනකින් යතිය තබා වෘත්තයක ඒක දේශයක් හෝ සම්බන්ධ කරමින් කරනු ලබන රචනාවයි. මෙකී ශෛලියේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ වන්නේ,

* දිගු වාක්‍යවලින් යුක්ත වීම
* කාව්‍ය භාෂාවේ එන විශේෂයෙන් පද්‍ය සඳහා උපයෝගී කර ගන්නා වචන භාවිත කිරීම.
* අනුප්‍රාසාත්මක ශබ්ධ මාධූර්යය ජනිත කරවන අයුරින් අක්ෂර, පද, වචන පෙළ ගැස්වීම. 
* තාලයට කියවිය හැකි වීම

මෙබදු මූලික ලක්ෂණවලින් යුක්ත ශෛලිය වෘත්ත ගන්ධි ශෛලිය ලෙස හඳුන්වයි. මෙය වනාහි කවියාගේ ප්‍රතිභා ශක්තිය උරගා බැලිය හැකි උරගලක් යැයි “ ගද්‍යං කවීනං නික්ෂා වදන්ති” යන සංස්කෘත පඩිවරුන්ගේ අදහස්වලින් පැහැදිලි වෙයි.
 
මෙකී වෘත්ත ගන්ධි ශෛලිය කුවේණි අස්න, දළදා සිරිත, සිහබා අස්න යනාදී කෘති තුළින් විද්‍යමාන වෙයි. මෙය කොතෙක් දුරට නිර්මාණාත්මක රීතිය උදෙසා යෝග්‍ය වේද? යන්න බැලීමේදී කුවේණි අස්න තුළින් එය මනාව ප්‍රතීයමාන වෙයි. 

කුවේණි අස්න දීර්ඝ ප්‍රබන්ධයක් නොවූව ද වෘත්ත ගන්ධි ශෛලියේ ලාලිත්‍යයෙන් යුක්තව හඬ නඟා කියවිය හැකි අයුරින් නිර්මාණය කිරීමට රචකයා දක්ෂ වී ඇති අයුරු පෙනේ. වාක්‍ය එකිනෙක ඒකාබද්ධ කරමින් එක ම අඛණ්ඩ ඡේදයක් ලෙසින් පමණක් නොව එක ම දීර්ඝ වාක්‍යයක් වශයෙන් මේ ප්‍රබන්ධය කිරීමට කතෘවරයා මනා වෑයමක් යොදා ඇත.
 
යාදිනි ස්වරූපයේ (උස් හඩින්) සම්ප්‍රදායට මෙය ගැලපුණ ද නිර්මාණාත්මක කෘති රචනයෙහිලා එතරම් සාර්ථක නොවෙයි. ඒ මන්ද නිර්මාණාත්මක කෘති බොහෝ විට රචනා කරන්නේ සහෘද පාඨකයාට හුදු රසවින්දනය ලබා දීම අරමුණු කර ගනිමිනි.  එක දිගට නොනවත්වා ඡේද ගණන් කියවා ගෙන යාම නිසා අර්ථ රසයට බාධා පැමිණේ. චරිත අතර අන්තර් සම්බන්ධතාවය පවා තේරුම් ගැනීමට අසීරු වේ. මෙය කුවේණි අස්න ආරම්භයේදී ම මනාව පැහැදිලි වෙයි. 

“ස්වස්ති වර ත්‍රිභුවනාධාර ගුණරත්න වාරාකරොදාර දුර්වාරතර ඝොර මාරාරිභඬ්කාර කළහාර හරතාර... ”

යනාදී කර්ණ කඨෝර භාෂා විලාසයකිනි. පාඨකයාට මේ පවසන්නේ කුමක්ද? යන්න පවා එකවිට නොහැඟෙන්නේ භාවිත කඨෝර භාෂාව හේතුවෙනි. 

මෙබඳු කඨෝර භාෂාවක් භාවිතයට ගත්ත ද, මටසිළිටි රමණීය ව්‍යවහරයන්ද තැනින් තැන දක්නට ලැබේ. කුවේණියගේ විරහ වේදනාව නමැති වැලපීම වෘත්ත ගන්ධි ශෛලිය ද ඉක්ම ගිය පද්‍යයක ස්වාභාවය ගෙන ඇති බවක් දක්නට ලැබේ. 

“හමන මඳනල සඳුන් සිසිල් ගිනි සේ දැනේ සුවඳ මල් පෙති අතුළ යහන කටු සේ දැනේ ...”

කොතරම් රමණිය වාග් කෝෂයකින් අලංකාර කර ඇති ද, යන්න පසක් කරයි. මෙය ගද්‍ය කෘතියක් වුව ද, ගද්‍ය භාෂාව ඉක්ම ගිය පද්‍යයක සුවඳ හමන කෘතියක් ද යන්න යම් විටෙක සිතට නැගෙන්නේ බොහෝ දුරට වෘත්ත ගන්ධි ශෛලිය යොදා ඇති නිසාවෙනි. 

නිර්මාණාත්මක කෘති සඳහා මෙවැනි ගද්‍ය භාෂාවකට පමණක් වහල් නොවී පද එකිනෙක වෙන් කර ගැනීමට හැකි අයුරින් නිර්මාණය කිරීම ඉතා වැදගත්ය. එවිට කියවන පාඨකයාට ද දිගින් දිගට ම කියවා ගෙන යාමට රුචියක් ඇති කරයි. එක දිගට කියවා ගෙන යාමේ දී ඇති වන වෙහෙසකාරී බව ද මඟ හරවා ගැනීමට හැකි වෙයි. 

නාට්‍යයක විලාසයට උචිත වන අයුරින් භාෂාව හැසිර වීමට කතෘවරයා මනා නිපුණත්වයක් උසුලා ඇත. 

“නුවනගින් බලා කපු කටින්නිය රුසිරු ලොව වටින්නිය කුවේණිය යකින්නිය ළඟට ගොස් දකින්නිය නුවනගින් බලන්නිය...”

පාඨකයාට ගීතයක  මිහිර  විඳිනවා හා  සමාන වින්දනයක් ලැබීමට හැකියාව ලැබෙයි. 
එසේම  ඇතැම් තැන්වල සංස්කෘත භාෂාව පමණක් උපයෝගී කරගෙන ඇති බවක් පෙනී යයි. මෙය නිර්මාණාත්මක කෘති රචනයෙහිලා නම් එතරම් සුදුසු නොවේ. කියවන පාඨක ජනයාට අප්‍රසාදයක් ඇති වීමට මෙය හේතුවක් වෙයි. පහත නිදසුන් මඟින් එය තීව්‍ර වෙයි. 

“නො හඬු පුඩු නො කළ බඩු ස මුඩු මිණි පඬුරු කොට පඬි රජුට යවා රට දකුණු මදුරාපුරෙන් ලකුණු සර චන්ද්‍රකුල ජලධි ශශි...”

මෙවැනි තැන්වලදී මෙයින් හමා එන සුන්දර මිහිරියාව ගිලිහී යයි. නමුත් කුවේණිය කෙරෙහි පාඨක සිත්හි අනුකම්පා රසය ඇතිවන අයුරින් කියා පෑමට සරල භාෂාවක් යොදා ගෙන ඇත. මෙය නිර්මාණාත්මක කෘති රචනයෙහිලා වැදගත් වෙයි. පුරාණෝක්ති භාවිත කරමින් රසවත්ව කියා පෑමට කතෘවරයා සමත් වී ඇත.

“...කොයි ගොසින් කොයි අනේ, රැකෙමි දැන් දෙවියනේ, කිය කියා අඩමිනේ, නෙත් කඳුළු ඉසිමිනේ, අඳෝනා කියමිනේ...”

මෙය කුවේණියගේ වලප ලෙස හඳුන්වයි. මෙවැනි වලපක් සිහබා අස්නෙහි ද දක්නට ලැබෙයි. දෙවියනේ, අඩමිනේ, ඉසිමිනේ, කියමිනේ යන වාග් කෝෂය හේතුවෙන් පාඨකයාගේ සිත්හි අනුකම්පාවක් නිරායාසයෙන් ම ගලා එන අයුරින් නිර්මාණය කර ඇත. පුරාණෝක්ති භාවිතයට ගනිමින් විරිතක සුවඳ හමා එන ආකාරයට නිර්මාණය කිරීමට කතෘවරයා සැබෑ නිපුණත්වයක් දක්වා ඇති අයුරු පෙනේ. ගද්‍ය කෘතියක් වුවද ගද්‍ය භාෂාවට පමණක් වහල් නොවී විවිධ භාෂා ප්‍රයෝග යොදා ගනිමින් රචනා කිරීමට දක්ෂ වී ඇති බව පෙනේ. 

ෂට් භාෂා පරමේෂ්වර උතුරු මුළ මහතෙරිඳු විසින්  කරන කුවේණි අස්න නිර්මාණාත්මක කෘති රචනයෙහිලා කොතෙක් දුරට ඉවහල් කර ගත හැකිද යන්න යථෝත්ක නිදසුන් තුළින් පැහැදිලි වෙයි.
        

No comments:

Post a Comment

ඇයයි මගේ අම්මා ❤️

ගැබ්බර වේදනා දරා දසමස හොවා  මෙලොවට මා දොවා හිනැහුණා ඔබ පරදා වේදනා  රතු රුහිරු කිරි කරන් සෙනෙහසින් මා වඩන් " මගෙ පුංචි දෝණිනේ කීවේ ආඩම්බ...