ගුරුළුගෝමීන්ගේ වර්ණනා චාතූර්යය විෂද වන අයුරු
සිංහල සාහිත්‍යයේ ග්‍රන්ථ වංශයට අයත් ඉතා පැරණි ම නිමාණාත්මක ගද්‍ය කෘතිය ලෙස අමාවතුර නම් ලබයි. මෙය පොළොන්නරු රාජධානි සමයේ අවසාන කාල පරිච්ඡේදයට අයත් කෘතියක් ලෙස හඳුනා ගත හැකිය. අමාවතුර බුදුන්ගේ පුරිසදම්මසාරථි බුදු ගුණය විහිදා දැක්වීම උදෙසා නිර්මාණය කරන ලද ගුරුළුගෝමී නම් පඬිවරයාගේ උසස් සාහිත්‍ය නිර්මාණයක් බව ග්‍රන්ථය අවසානයේ මනාව දක්වා ඇත.
“ගුරුළුගෝමීන් විසින් කරන ලද අමාවතුර නම් පුරිසදම්මසාරථී පද වර්ණනා නිමි.”
අමාවතුර ගුරුළුගෝමීන් විසින් නිර්මාණය කරන ධර්ම ග්‍රන්ථයක් වන අතර එහිදී මූලික වශයෙන් බුදුරදුන්ගේ පුරිසදම්මසාරථී බුදු ගුණය වර්ණනා කර ඇති බව හඳුනා ගත හැකිය.
අමාවතුර කතුහිමි තම ග්‍රන්ථකරණයේ අභිප්‍රාය කුමක්ද? යන්න පිළිබඳව ග්‍රන්ථ ආරම්භයේ මෙසේ දක්වා ඇත.
“බුදු ගුණ අනන්ත වන බැවින් නව ගුණ හැම කියත් නොපිළිවනින් එහි පුරුසදම්මසාරථී යන පදය ගෙන අප බුදුන් පෙරුම් පුරා බුදු වැ දෙව්රම් වෙහෙර පිළිගෙනැ එහි වෙසෙමින් තුන් ලොව්හි සැරිසැරූ විෂම පුරුෂයන් දමා අමා මහා නිවන් පැමිණි වූ සේ නොවියත් හුදී ජනන් සඳහා සියබසින් මා විසින් සැකෙවින් දක්වනු ලැබේ.”
අමාවතුර පිළිබඳ ප්‍රශංසනාත්මක විග්‍රහයක යෙදෙන මාර්ටින් වික්‍රමසිංහයන් සිය “සිංහල සාහිත්‍යයේ නැඟීම” කෘතියේ ඒ ගැන ඔහුගේ අදහස මෙසේ ප්‍රකාශ කරයි.
“අමාවතුර මුල පටන් අවසානය දක්වා ම බුද්ධ චරිතය මුතුපටෙහි නූල මෙන් දිවෙයි. මේ නිසා අනික් එක ම සිංහල ගද්‍යයක නොදක්නා ලැබෙන එකමුතු බවක් නොහොත් ඒකාත්මක ස්වරූපයක් අමාවතුරෙහි දක්නා ලැබේ.” (මාර්ටින් වික්‍රමසිංහ)
අමාවතුර ග්‍රන්ථයේ ගුරුළු ගෝමීන්ගේ වර්ණනා චාතූර්යය කෙබඳු ද යන්න හඳුනා ගැනීමේ දී අමාවතුරේ දිවෙන සෑම කතා පුවතක් තුළින් ම කදිමට ධ්වනිතාර්ථවත් වෙයි. බුද්ධ චරිතයේ ඉතා ප්‍රකට අවස්ථාවක් වූවත් ගුරුළු ගෝමීන් ඉදිරිපත් කරන්නේ පාඨකයාගේ සිත්හි එක් වරක් හෝ දෙවරක් පමණක් නොව සියවරක් කියවීමට පෙළඹවන ආකාරයේ රුචියක් ඇති කරවමිනි. අවස්ථා නිරූපණයෙහිලා ගෝමීන් සැබෑ දක්ෂය. ඒ බව “ස්වසන්තාන දමනයේ” සිදුහත් කුමරු මහභිනිෂ්ක්‍රමණය සඳහා පිටවීමට සූදානම් වන අවස්ථාව කඳිම නිදසුන් සපයයි.
එහිදී සිදුහත් කුමරු ඡන්න ඇමති සහ කන්තක අසු යන තිදෙනාගේ ම චිත්ත අභ්‍යන්තරයේ ඇති වූ ධෛර්්‍යය හා අධිෂ්ඨානය ගෝමීන් වෙන වෙන ම විස්තර කිරීමට සමත් වී ඇත.
“ඉඳින් දොර විවිර නොවී නම්, මම අසුපිට හුන්නෙම් මැ වල්පත ගෙන සිටි සන්නු හා සමඟ අසු දෙකලවෙයින් හැදවා ගෙනැ අටළොස් හත් පවුරු පැනැ යෙමි යි” සිතූහ.
“සන්මහ ඇමති ඉඳින් දොර විවර නොවී නම් මාහිමියා මා දසරුයෙහි හිඳුවා ගෙන අස් රජු දකුණු කිහිල්ලෙන් ගෙන පවුර පැනැ යෙමි” සිතූහ.
“අස්තෙමේ දු ඉඳින් දොර විවර නොවී නම් මම මාහිමියා පිට හිඳුවා ගෙනැ වල්හි ගත් සන්හු හා සමඟ පවුර පැනැ යෙමි” සිතූහ.
මේ උතුම් ගමන කෙසේ හෝ ජය ගත යුතුය යන ආකල්පය තිදෙනාගේ ම චිත්ත අභ්‍යන්තරයේ පැවැති ආකාරය මනාව ඉදිරිපත් කර පෙන්වයි. කුමන ආකාරයේ ශක්තියක් හෝ උපායක් යොදවා පවුර පැනිය යුතුය යන අභියෝගය ජය ගන්නා ආකාරය පිළිබඳ තිදෙනා තුළ වෙන වෙන ම පැවැති ධෛර්යය එක විට ම සඵල විය. ඒ අවස්ථාව කොතරම් සාර්ථකව ඉදිරිපත් කර ඇති ද යන්න පෙනේ.
“එකල්හි දෙවියෝ දොර විවර කර දුන්හු” යන වැකියෙන් පාඨක සිත් ශාන්තභාවයට පත් කරන්නේ අතිශය ප්‍රශංසනීය විලාසයනි.
ගෝමීන්ගේ අපූර්ව වර්ණනා චාතුර්යය විෂද කරන තවත් අවස්ථාවක් ලෙස “අඟුල්මල්දම” නම් පරිච්ඡේදයෙන් මනාව පෙන්නුම් කරයි. අවස්ථා නිරූපණය කිරීමේ දී පියවරෙන් පියවරට ක්‍රමානූකූලව පාඨකයන්ට මනාව පැහැදිලි කර ගැනීමට හැකි අයුරින් ඉදිරිපත් කර ඇත.
අහිංසක නම් කුමාරයා මව් කුස පිළිසිඳ ගැනිමේ පටන් ඔහු තක්සලා නුවරට ගොස් ශිල්ප හදාරා ඉන් පසුව මිනිමරුවකු සොරකු බවට පත් වී අවසානයේ බුදුන්ගේ මහා කරුණාවට පාත්‍ර වී තෙරනමක් වීම දක්වා සිදුවීම් දාමය දම්වැලක පුරුක් මෙන් මනාව ගලපා අනවශ්‍ය වර්ණනාවලින් බැහැරව ඉදිරිපත් කිරීමට ගෝමීන් සැබෑ දක්ෂ වෙයි.
“එකල්හි අඟුල්මල් මහතෙරහු නොපමා වැ මහණුකම් කොට රාත් වූහ.”
මෙයින් පැහැදිලි වන ආකාරයට බුදුන්ගෙන් බණ අසා පැවිදි වූ අඟුල්මල් රහත්ව සත්‍ය ක්‍රියා බලයෙන් ලොවට සෙත් සදන උතුම් පුද්ගලයෙක් බවට පත් විය. දරුණු අංගුලිමාල ශාන්තගාමී වූ අයුරු ඉතා පැහැදිලිව ඉදිරිපත් කිරීම තුළින් ගෝමීන්ගේ කතා ඉදිරිපත් කිරීමෙහිලා පවත්නා ඖදාර්ය ගුණය මනාව පැහැදිලි වෙයි.
බිම්බිසාර රජු මරණයට පත් වූ ආකාරය පාඨක ජනයාට තේරුම් ගත හැකි අයුරින් සරල උපමා භාවිතයට ගැනීම විශේෂත්වයකි.
“සරා සඳ රැසින් රිදී කෙළෙන් නික්මුණු කිරු දහර සෙයින්, රිදී විමනින් නික්මුණු මුතු වැල සෙයින්, සමන් කුසුම්දම් සෙයින්...”
පියා මැරූ දිනයේ සිට අජාසත් රජුට නින්ද නොයන බව ඇමතියන්ට පසක් කර දීමට යොදා ගත්තේ අවස්ථාවට උචිත වූ උපමාවන්ය.
අමාවතුරේ තවත් එක් වර්ණනා චාතූර්යය පෙන්නුම් කරන අවස්ථාවක් ලෙස ‘ඇ’ කාරය භාවිතය දැක්විය හැකිය. ඒ බව බොහෝ කතාවල ආරම්භයේ සිට අවසානය දක්වා දිවෙන අවස්ථා තුළින් පෙන්නුම් කරයි.
“එතැන පටන් ගෙනැ රන්මරවඩියැ බත් එව පියාලා පයින් ගෙනැ වඳිති” - රාජ දමන -
“එදවස් රජ ඇය සඳහන් කොටැ නගර සෝභිනී කොහි යයි පිළිවිස මෙම නුවර යැ යනු...” - ගෘහපති දමන -
“මහ බෝසතාණන් දැකැ තුසිතපුරයට ගොස් වැදැ මුදුනෙහි ඇඟිලි බැ`දැ...” -ස්වසන්තාන දමන -
එසේම අමාවතුර වාග් කෝෂය තුළ පාලි සංස්කෘත තත්සම, තත්භව වචන අභිමත අවස්ථාවලදී යොදා ගැනිමට පසුබට වී නොමැත. නිදසුන් ලෙස ඍද්ධි පෙළහැර, සර්වඥ පවරුනෙන් යන වචන තුළින් පෙනේ.
අමාවතුරේ පවත්නා තවත් විශේෂත්වයක් වන්නේ එක ම භාෂාවකට සීමා නොවී එක හා සමාන උච්චරණය සහිත වැකි, අනුප්‍රාසය සහිත වැකි බහුලව දක්නට තිබීමයි. ඒ බව ‘අඟුල්මල් දමන’ පරිච්ඡේදයේ මනාව පෙන්නුම් කරයි.
‘නියම් ගම් නොනියම් ගම් කෙළේ. මිනිසුන් මර මරා ඇඟිලි විදැ මාල කොට දරයි. මහණ තෙල මඟට පුරුෂයෝ දස දෙනෙකුදු විසි තිස් සතළිස් පනස් දෙනෙකු...’
සුඛනම්‍ය භාෂාවක් දක්නට ලැබෙයි. එය ගීතවත් ලෙසින් කඩා හැලෙන දිය දහරක් මෙන් එකිනෙකට බැඳි පද්‍ය සමූහයක් සේ රසවත් වූ බසකින් පෘඨකයන්හි සිත්හි චිත්තරූප මැවෙන අන්දමට ඉදිරිපත් කර පෙන්වීමට සමත් වී ඇත. ඒ බව,
‘ඔහු දැරියගේ සිරි යහන් ගැබට වැද දැරිය හැරගෙන සුපිපි කැහැල රුකෙක්හි මල් අතු බිඳින්නවුන් සෙයින් ඇයගේ සර්ව ආභරණ ගලවා නියෙන් සීමානත දක්වා සැඩොල් කෙහෙ බැඳ නිල් පියල්ලෙහි ඇතැ බැඳ ...’
යන්න තුළින් පැහැදිලි වන්නේ කතු හිමි සංයමයකින් යුක්තව පාඨක සිත් සතන් ඇද බැද ගන්නා ආකාරයට වර්ණනා ඉදිරිපත් කිරීමට සමත් වී ඇති බවයි.
අමාවතුර කෘතියෙන් ගුරුළු ගෝමීන් සතුව පැවැති අපූර්ව වර්ණනා චාතූර්යය මනාව විෂද වෙයි
No comments:
Post a Comment