Tuesday, June 15, 2021

සියවස් ගණනක උරුමයේ මහිමය රැගත් ලෙනගල රජමහා විහාරය

ලෙනගල රජමහා විහාරය   

 


       සුන්දර වන පෙදෙසකින් සහ මහත් උත්තුංග ගල් පර්වත පාමුල සුසැදි ලෙනගල රජමහා විහාරය ඓතිහාසික වටිනාකම් අතින් විශිෂ්ට පුදබිමකි. මෙය ශ්‍රී සම්බුද්ධ වර්ෂ 450 වැනි සංවත්සරයෙහි ලක්දිව රාජ ශ්‍රී පරාක්‍රමාන්විත වට්ටගාමිණි අභය හෙවත් වලගම්බා රාජ්‍ය සමය දක්වා අතීතයකට හිමිකම් කියයි. සල්ගල නම් රමණීය වනෝද්‍යානයේ විසූ ආය්‍යි දූහතර සහ ආය්‍යි ශිව යන ප්‍රදේශාධිපති විසින් කටාරම් කොටවා කටුකොහොල් හරවා නිර්මාණය කරන ලද මනරම් ප්‍රසාදනීය ගිරි ගුහාව “ලෙනගල” යන නමින් ප්‍රසිද්ධියට පත්විය.

 ලෙනගල විහාරයේ ආරම්භය අනුරාධපුර යුගයේ වලගම්බා රජුගේ කාලය තෙක් ඈතට දිව යයි. ද්‍රවිඩයන්ගේ ග්‍රහණයට නතු වී සිටි රජු තම ආරක්ෂාව පතා වසල් දනව්වල සැඟ වී සිට ඇත. එම සැඟ වී සිටි කාලය තුළ මොහු බහුල වශයෙන් කාලය ගතකර ඇත්තේ ලෙන් ගුහා ආශ්‍රය කර ගනිමිනි. මෙතුමා වල් වැද පලා ගිය අවස්ථාවේ සල්ගල මහ වන පියසට පැමිණ ඇත. එකල මෙම ලෙනගල ආදි ප්‍රදේශවල පාලන කටයුතු කරගෙන යා මෙහිලා විශේෂ පුරෝගාමිත්වයක් ඇතිව ක්‍රියා කළ ආයක දූ හතර සහ ආයක ශිව යන පුතුන් දෙදෙනාට මුණ ගැසුණු වලගම්බා රජුට සැඟ වී සිටිම සඳහා ආරක්ෂිත ස්ථානයක් ලෙස වන මැද පිහිටි මෙම ගල්ලෙන සොයා දී ඇත. එයට කෘතගුණ සැලකීමක් වශයෙන් වලගම්බා රජු රජ පැමිණීමෙන් පසු මෙම සුවිසල් ගල්ලෙන කටාරම් කොටා සිව් දිගින් වඩින මහා සංඝයාට විහාරයක් බවට පත් කර සඟ සතු කර පිදූ බවට ජන වහරේ පවති. 

 
ඓතිහාසික උරුමය ලෝ තලය පුරා පතුරුවා හරින රජමහා විහාරයකි. ලෙනගල විහාරය නරඹන ලොකු කුඩා සියලු දෙනාගේ ම නෙත් සිත් නව  ප්‍රබෝධයක් කරා රැගෙන යාමට විහාරස්ථානයේ සුන්දර පරිසරය මෙන් ම ඓතිහාසිකත්වය ගැබ්ව පවත්නා උරුමයෝ ඉවහල් වෙති. ඓතිහාසික උරුමය සහිත වස්තූන් බැතිමතුන්ගේ සිත් සියවස් ගණනක ඈත අතීතයකට යොමු කරවයි. දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියන මෙම විහාරයේ ඉතිහාසය රාවණ කාලය දක්වා දිවෙන බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි. එනම් රාවණ රජු දඬු මොණරය නැවැත් වූ ස්ථානය ලෙසත්, වලගම්බා රජු දමිළයන්ගෙන් පැරද ආරක්ෂාව සපයා ගනිමින් සේනා සංවිධානය කළ ඉසව්ව ලෙසත් ඓතිහාසික වශයෙන් වැදගත් වෙයි.

ස්වාභාව සෞන්දර්යයේ අපූර්වත්වය රැකෙන පරිදි නිමවා ඇති විහාරයේ බ්‍රාහ්මීය අක්ෂර සහිත ලෙන් සෙල් ලිපියෙන් ඓතිහාසික උරුමය මනාව ස්ඵුට කරවයි. විහාරයට ඉහළින් ඇති පර්වතයේ කටාරමට පහළින් නිමවා ඇති මෙම ලිපියෙහි අකුරු 47ක් තනි පේළියට ඇති අතර ඉතිරි අක්ෂර අඩි කිහිපයක් දුරින් දකුණට බරව කෙටි පේළි දෙකකින් යුතුව කොටා ඇත.                                                                                                                                                                                                                                                                                            මෙම විහාරය ලෙන් තුනකට බෙදා වෙන්කර තීබීම විශේෂත්වයකි. එය මහා විහාරය, සත් සති  විහාරය, චෛත්‍යය විහාරය යනුවෙන් නම් කළ හැකි ය. එක පෙළට නිමවා ඇති විහාර තුනෙහි ඉදිරිපස ඝන බිත්ති ගල් සහ මැටි භාවිතයෙන් නිර්මාණය කර ඇති අතර බෑවුම් සහිත පර්වතයක් හා සම්බන්ධ වෙයි. සත් සති විහාරයේ දිග අඩි 25 ක් පමණ වන අතර පළල අඩි 12 ක් පමණ වෙයි. විහාරයට ඇතුල් වීම සඳහා විවිධ මෝස්තරවලින් කැටයම් කරන ලද විශාල ගල් කණු ඉදිකර ඇත.

විහාර තුනෙහි ම ඇති බුද්ධ ප්‍රතිමා සියල්ල මහනුවර යුගයේ කලා ලක්ෂණවලින් යුක්ත වෙයි. සත්සති විහාරයේ දැකිය හැකි පිළිම අභය මුද්‍රාවෙන් යුක්ත වෙයි. මහනුවර යුගයේ කලා ලක්ෂණයක් වූ විවෘත දෙනෙත්, තරංගාකාර චීවර රැළිවලින් හා රතු කහ වර්ණයෙන් ද ඒවා සමන්විත වෙයි. සූවිසි විවරණය වැනි විශේෂ වියන් සැරසිලිවලින් අලංකෘත කර ඇත. බුදු පිළිමවලට අමතරව දේව රූප හා රහතන් වහන්සේලාගේ රූප ද චෛත්‍යය රූප ද බිත්තිවල සිතුවම් කර ඇත. 

    ලංකාවේ දෙවන උස ම ගල් උළුවස්ස ලෙනගල විහාරය සතු වෙයි. විහාර භූමිය ආසන්නයේ ගල්ලෙන් 28ක් පමණ දක්නට ලැබෙන අතර වර්තමානයේ ඒවායෙහි භාවනායෝගී භික්ෂුන් වහන්සේලා වැඩ වෙසෙති. ලෙනගල සිට සල්ගල දක්වා උමං මාර්ග දක්නට ලැබෙන අතර උමගේ ඇතුළුවීමේ දොරටුව අදටත් දක්නට තීබීම විශේෂත්වයකි. 


පුරා වස්තූන් අතර මැටි පහන හා පාත්‍ර ධාතුව විශේෂ වැදගත්කම් රැසක් පිළිඹිබු කරයි. මෙම පහනෙහි අඩිය කොටස ද නිර්මාණය කර ඇත්තේ කැටයම් කිහපයක් උපයෝගි කර ගනිමිනි. මහනුවර යුගයේ චිත්‍ර සම්ප්‍රදායේ දක්නට ලැබෙන පලාපෙති, ධර්ම චක්‍රය, නාග පෙනය, නෙළුම් මල් යන විවිධ මෝස්තරයන් මෙහි දක්නට ලැබේ. මුදුනෙන් තෙල් දැමීමට හැකිවන පරිදි මෙය සකස් කර ඇත. මෙම පහන දැනට නොදල්වන අතර සුරක්ෂිතව විහාරයේ තැන්පත් කර තිබෙයි. මැටි පාත්‍ර ධාතුව ද පුරාවිද්‍යා වස්තූන් අතර වැදගත් ස්ථානයක් හිමිකර ගනියි. මැටියෙන් නිර්මාණය කර තීරු අටකට බෙදා මෝස්තර ගන්වා ඇති මෙම පාත්‍ර ධාතුව කලාත්මක හැඩයෙන් අනූන ය. පාත්‍ර ධාතුව සිටවා තැබීම සඳහා අඩියක් නිර්මාණය කර තිබීම; මෙහි තවත් වැදගත්කමකි. පාත්‍ර ධාතු අඩිය විවිධ මෝස්තරවලින් වර්ණාලේපිත කර ඇත. නිල්, කහ, දුඹුරු, සුදු වර්ණවලින් යුක්ත වෙයි.

 හෙළයේ  අතීත ප්‍රෞඪත්වය විදහාපාන දුර්ලභ හරඹ ශිල්පය වත්මනෙහි ද රිටිගල සුමේධ ඇදුරුතුමන්ගේ ගුරු ඔවදන් මැද ලෙනගල විහාර භූමියේ සිදු කිරිම; ජාතියක් වශයෙන් සතුටු විය හැකි කරුණකි. කෑගල්ල දිස්ත්‍රික්කයේ විශාල භූමියකට හිමිකම් කියන සුන්දර වන පියසක ලෙනක් තුළ සුසැදි ලෙනගල රජමහා විහාරයේ ඉතිහාසය, පිහිටිම, පරිසරය, චිත්‍ර මූර්ති හා විහාරයට අයත් සියලු අංග ක්‍රමවත්ව පිහිටා ඇති බැවින් ජාතික උරුමයක් ලෙස සලකා සුරැකීම අප සතු යුතුකමකි. 



 - සචිනි නිමේෂිකා -

Sunday, June 13, 2021

නවකතාවක ප්‍රකාශන සැලසුම

 දුගී පැලෙන්  මන්දිරයට


1. කතාව 

සුන්දර කදු පංතියකින් වට  වූ සරුසාර කෙතක් මධ්‍යයේ  සුසැදුණු   පොල්  අතු  සෙවිලි  කළ කුටුම්බය, කුසට නිසි අහරක් නොමැතිව ගොවි පෙවිපෙතින් ගත කළ ආදර කැදැල්ල, දුකට හුරු වූ පවුලේ එකම කොලුවා, නොසිතූ නිමේෂයකදී අත් විදීමට සිදු වූ ඛේදජනක ඉරණම, ඉරණම ජීවිතයට නව ආරම්භයක් කරගත්  කොලුවා,  ජීවිතය  නොසිතූ  පැතිකඩක් කරා රැගෙන යාමෙහි  ප්‍රයත්නය කල එළි  නංවන හැගිම්බර සිතුවිලි සමුදාය...


2. සමාජ පසුබිම

ගැමි පවුල් කුටුම්බයක් තුළ වෙහෙසකාරී ජීවන ගමනාන්තය කියාපාන මධ්‍යම පාන්තික පවුල් පසුබිම.


3. චරිත

චමත් ( ප්‍රධාන චරිතය ), ලලිතා ( චමත්ගේ මව ) , සේන (චමත්ගේ පියා ) ,කිරා ,සෙල්ටා , කිරි පුතා ,ටිකිරා (චමත්ගේ මිතුරු සමූහය ) , ප්‍රභා ( ගමේ ගැටිස්සියක් ), මාස්ටර්, පියසීලි, ඉදුෂි ( ප්‍රභාගේ පවුල), මුදලාලි, සෝරත හිමි, හැරී, බබෝරිස්, අප්පු, සුමනා, සෙනෙවි ( ගම් වැසියෝ ) සෙසු චරිත  සමූහයක් වටා කතාව ගෙතී  ඇත.


4. ප්‍රකාශිත ව්‍යුහය 

ආරම්භයේ සිට අවසානය දක්වා විවිධ අභියෝග මධ්‍යයේ ජීවිතයට මුහුණ දෙන චමත්ගේ ජීවිතය විවරණය කිරීම. 

මුල : දරිද්‍රතාවයෙන් පෙළෙන කෙතක්  මධ්‍යයේ පිහිටි සොදුරු නවාතැන.

මැද : නොසිතූ මොහොත අමිහිරි අත්දැකීම්  තුළින් ජීවන නෞකාව පැදවීම

අග :  "උත්සහවන්තයා ජය ගනී" යථාර්ථයක් යන්න හගවමින් ජීවන  නෞකාව කල එළි නැංවීම                                            

5. නවෝත්පාදන ශක්‍යතා,

සියලු  චරිතයන්  සජීවී  ආකාරයෙන්  කතාවට උපයුක්ත කර ගැනීම.


6. භාෂා උපක්‍රම

  *  නිර්මාණාත්මක භාෂා භාවිතය                                                                                       

  *  ගැමි ව්‍යවහර භාෂාව

  *  කමත් භාෂාව උපයුක්ත කර ගැනීම.


7. දෙබස්වල  විශේෂතා                                                                                                                        

උච්චත ම අවස්ථාවල දී කතාවේ චරිතවල ක්‍රියාකාරිත්වය සංවාද පෙරටු කර ගනිමින් කියාපාන අතර පාඨකයාගේ මනස කතාව තුළ ම රදවා ගැනීමට උත්සහ කිරීම                                                                                                                                       

8. නිර්මාණාත්මක බව

  *  බිහිසුණු  අවස්ථා රසවත්ව  ඉදිරිපත්  කිරිම  

  *  සංකේත භාවිතය ( ගැමි ජනයා අතර  ප්‍රචලිත )

9.ලිවිමේ  අපහසුතා   මග   හරවා  ගැනීමට උපයෝගී  කරගන්නා  ක්‍රම

 * අවස්ථා සිද්ධි චිත්‍ර තුළින් නිරූපණය කිරීම 

 * දළ සටහන් ඇදීම.

10.ලිවිමේදී ඉවසීමේ ගුණය ප්‍රගුණ කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග

විවේකීව  නිදහසේ  සිටින  කාලය  තුළ ග්‍රාමීය  අත්දැකීම් ඇසුරින් කතාව නිර්මාණය කිරිම.


 - සචිනි නිමේෂිකා -

Monday, April 26, 2021

දීගය

 

   ලොව  සුන්දර  ම  දේ   බිහිවන්නේ  ඉරේ   එළියෙනුයි, අම්මගේ  කිරිවලිනුයි  කියලා  අපි  අහලා  තිබුණට ඒ බව,  හිතපත්ලට  ම  දැනෙන්නේ   තමාගේ ම  දරුවකු  දෝතට ගන්නා  මොහොතේ දී ය. පුර පස සඳයි, සඳ  ළඟ  තරුවයි මෙන් මවත් පියත් සිඟිති බිළිදාගේ ලස්සන මුහුණ දෑහෙන් විදලා සොඳුරු ආශ්චර්යයක් විඳියි.

මෙබඳු හරි අපූර්ව සහගත බැඳීමක් ලෙස  "විවාහය" නම් සංකල්පය හැඳින්විය  හැකිය.  පිරිමියෙකු දෙවැනි වරට උපදින්නේ බිරිඳකගෙනි. ඒ වගේ ම දරුවෙක් වෙනුවෙන් සුබ සෙත සලසන්නී ද අම්මාය. දුවක, බිරිඳක, මවක ලෙසින් විවිධ පැතිකඩයන්හි ඇය ලබා දෙන දායකත්වය සුළු පටු නොවන බව මම තරයේ විශ්වාස කරමි. සමහර පිරිමින්ට නිවස අපායකි. එහෙත්  සමහරුන්ට  නිවස  දිව්‍ය  ලෝකයකි. මෙකී ස්ථාන දෙක ම නිර්මාණය වන්නේ කාන්තාව පවුල තුළ හැසිරෙන ආකාරය අනුවයි. ඔබටත් නිවස මේවාගේ ස්ථානයක් ද? 

                                                                                                                                                                                    


 "පොඩි දුවගේ සිනා කටයි

පොඩි පුතුගේ කතා හඬයි

පිය බිරිඳගේ සෙනෙහෙ විලයි

මගේ නිවස මගේ පැල්පතයි..."                                                                                                                                                                                                                                                       එසේ නම් කුටුම්බ සංස්ථාව තුළ කාන්තාවක් විසින් ලබා දෙන දායකත්වය කොතරම් ද යන්න මම තවත් පැහැදිලි කළ යුතු නැතැයි සිතමි. මන්ද හිරුටත් පෙර පිබිද සියලු වැඩ කටයුතු අහවර කර පවුලේ  සාමාජිකයන්ගේ ගමන් මඟට අවැසි ශක්තිය ලබා දෙමින් සියල්ලට ම පසුව නිදාගත් එක ම තැනැත්තිය කාන්තාවයි.                                                                                                                                                                                                                                                                             පවුල් කුටුම්බය තුළ කාන්තාවගේ ජීවිතයේ සුවිශේෂ අවස්ථාව කුමක්ද? යන පැනය මා යොමු කළහොත් බොහෝ දෙනා පවසන්නේ "විවාහ මංගල උත්සව දිනය" කියයි. මනාලියක් වීමට කාන්තාවක් හීන දකින්නේ තරුණ වියට එළඹීමත් සමඟය.මාස සති දින ඇඟිලි  ගනිමින් ශ්‍රී ලාංකික සංස්කෘතියට අනුව ඉතා උසස් ලෙස චාරිත්‍ර වාරිත්‍රවලට අනුකූලව මාල වළලු පැලඳ ලෝකයට ණය වෙමින් උත්සව ශ්‍රීයෙන්  විවාහ උත්සවය පවත්වති . විවාහය යනු, කිසි දිනෙක තාවකාලික බන්ධනයක් නොවන අතර ජීවිත කාලයට ම වලංගු හරි අපූර්ව සහගත බැඳීමකි. විවාහය දෙදෙනාගේ තේරුම් ගැනීමේ ශක්තිය මත එහි දීර්ඝ කාලීන බැඳීම තීරණය වෙයි. ඒ සඳහා නිවැරදි අවබෝධය, විශ්වාසය, ගරු කිරීම, අසීමිත ආදරය යන කරුණු මූලික තැනක් ගනු ලබයි.       

   ඉතින් මෙම ජායාරූපයට අනුව නම් විවාහයේ සුන්දර  අත්දැකීම  හිතට අපූර්ව ආකාරයේ හැඟීම්  ජනිත කිරීමට ජායාරූප ශිල්පියා සමත් වී තිබෙයි. තමාට  ගැළපෙන ස්වාමි පුරුෂයකු හිමි නොවීම හේතුවෙන් බොහෝ විවාහක කාන්තාවන්ට මෙබඳු කටුක ඉරණම්වලට ගොදුරු වීමට සිදු වී තිබීම අතිශයෝක්තියක් නොවෙයි. ගැමි වහරේ එන "ගැහැණු ඉන්නේ උයන්න පිහින්නයි රෙදි හෝදන්නයි" යන කරුණ මනාව ධ්වනිතාර්ථවත් කරවමිනි. මෙබඳු ආකාරයෙන් කාන්තාව ගැමි වහරේ හඳුන්වන  "ලිප් බොක්කට කොටු වීම" මහත් ඛේදජනකය.                                                                                                                                                                                                                                                              මෙබඳු ඉරණමකට නතුවීම නිසා කාන්තාවට විවාහ ජීවිතය ම අපායක් සේ හැඟීයාම අතිශයෝක්තියක්  නොවෙයි. ඇයගේ සුන්දර වත දැලි ගා ගනිමින් මුහුණෙහි අසතුටු ස්වරූපයෙන් පසක් කරන්නේ ජීවිතයේ ආරම්භය ම ඇයට අපායක් වී ඇති බවයි. නමුත් ඇයගේ දෑස දෙස නෙත් යොමා බලන විට ඇය කෙසේ හෝ තම ජීවිතය ජයගත යුතු ය යන පරම අධිෂ්ඨාන  සහගත හැඟීමකින්  සිටින ආකාරයක් දක්නට ලැබෙයි. මෙය සමස්ත කාන්තාවක් තුළ ම දක්නට ලැබෙන ආකල්පයකි. කොතරම් බාධක කරදර මැද වුව ද ජීවන නෞකාව යාත්‍රා කරවීමට ඇය සතුව පුදුම සහගත බලවේගයක් පැවතීම අතිශයෝක්තියක් නොවෙයි. ඇය ඉදිරිපස තබා ඇති කොහිල මිටියෙන් බොහෝ දෙනා හඳුන්වන පරිදි ඇයට කේන්ති ගොස් ඇති බවත් මූලග්ගින්න නැති කළ යුතු බව ඉස්මතු කර පෙන්වීමට ජායාරූප ශිල්පියා සමත් වී ඇත. ඇය වටා එක් රැස්කර ඇති මහත් දර කන්ද තුළින් ඇය මුළු නිවසට ම ආහාර පිසින්නියක් බවට පත් වී ඇති බව ස්ඵුට කර පෙන්වයි. මෙකී කාන්තාවට යහපත් ස්වාමි පුරුෂයකු ලැබුණා නම් විවාහ ජීවිතය සුර ලොවක් කර ගැනීමෙහි හැකියාව පවතී යැයි මම සිතමි.

 මෙය සමස්ත ස්වාමි පුරුෂයන්ට ම ආදර්ශයක් කරගත හැකි බව මම තරයේ ප්‍රකාශ කරමි. එනම් පවුල් කුටුම්බය තුළ සියලු වැඩ කාන්තාව වෙත ම යොමු නොකරමින් ඇයට සහය දිය යුතුය. මූලික වශයෙන් ඇයව මනාව තේරුම් ගැනීම ඉතා වැදගත් ය. මක් නිසාද යත් කාන්තාව විවාහ වී කුලගෙට පියමනින්නේ ස්වාමියා සමග සතුටින් ජීවත් වෙමින් මවක වීමේ උත්තරීතර හැඟීම සිතෙහි තබා ගනිමිනි. විවාහ වීමට පෙර පුරුෂයා තම ආදර වන්තිය කෙරෙහි පැවති ආදරය ස්නේහය කිසිඳු අඩුවකින් තොරව  ඇයට ලබා දෙමින් ඇයව කුස්සිය මුල්ලට සීමා නොකිරීම තුළින් කුටුම්බය  සුර ලොවක් මෙන් සරසවා ගැනීමට හැකි යැයි මම විශ්වාස කරමි.


                                                                                                                                                                                                                         -  සචිනි නිමේෂිකා - 

Tuesday, April 20, 2021

අසීමිත ආදරය

 


ආදරය තියෙන්නේ,

ලැබෙන කෙනා ළඟම නෙවෙයි,

දැනෙන කෙනා ළඟ..

ඒ නිසාමයී මා නුඹ ළඟ නැවතුනේ..

මා දැන් මගේ ගමනාන්තය 

නුඹේ ගමනාන්තය ම යැයි සිතමි..

නුඹ නවතින යම් තැනක මාද 

නුඹ සමඟම නවතිමි..


( Sachini Nimeshika )

සුවඳ කූරූ

 


වැලි මලුවේ පෑගෙන

වැලි කැටේ ගානට

සිත නිවි සැනසුම ලැබෙනවා.

බෝපත් මතින් නැගෙන

සිසිල් සුළන් රැල්ලට

හිත නිවි සුවපත් කරනවා.

සුවඳ කූරෙන්

නැගෙන සුවදින්

සිතට දිව්‍ය ලෝකය මවනවා.

☸️🍃🌸🙏


( Sachini Nimeshika )

බෝ සෙවණ


හිත නිවන බෝ දල්ලක

තෙරුවන් සරණ ගිය බැතිමතෙකු

ගැටගසා කොඩියක්

දුරුකරයි සෙනසුරු අපල෴


( Sachini Nimeshika )

ඇයයි මගේ අම්මා ❤️

ගැබ්බර වේදනා දරා දසමස හොවා  මෙලොවට මා දොවා හිනැහුණා ඔබ පරදා වේදනා  රතු රුහිරු කිරි කරන් සෙනෙහසින් මා වඩන් " මගෙ පුංචි දෝණිනේ කීවේ ආඩම්බ...